Monday, December 31, 2012

කරන්දෙණියේ වෛද්‍යවරයා ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

නීතිපති උපදෙස්‌ මෙතෙක්‌ නොලැබීම නිසා යළිත් වතාවක්‌ කරන්දෙනිය හොඳ හිත දොස්‌තර ලෙස ප්‍රකට වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනය පිළිබඳ නඩු විභාගය 2013 ජනවාරි මස 07 දින දක්‌වා කල් තැබීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් අසංග ශ්‍යාම්ලාල් බෝදරගම මහතා (28 දා) නියෝග කළේය.

වෛද්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් 05 දෙනා ජනවාරි 07 වැනි දින දක්‌වා යළිත් රක්‍ෂිත බන්ධනාගරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

කරන්දෙණිය පුංචි බොරකන්දේ රසායනාගාර පරීක්‍ෂක කේ. ඩී. චින්තක රුවන් ජයසේන, ඇල්පිටිය කුරුඳුගහහැතැප්මේ පදිංචි යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ, යුද හමුදාවේ සෙබළ අයිය මලෝ වන එස්‌. එච්. ජයලත්ද සිල්වා, එස්‌. එච්. ශාන්ත ද සිල්වා, මීටියාගොඩ මහවෙල ඩී. විජිත් ආනන්ද ද සොයිසා යන සැකකරුවන් පස්‌දෙනා ඒ අනුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම නඩුව ඉකුත් 28 දින යළි කැඳවූ අවස්‌ථාවේදී රහස්‌ පොලිසිය වෙනුවෙන් කරුණු දැක්‌වූ සැරයන් මැදගම මහතා, වෛද්‍යවරයාගේ ඥතීන්ට දුරකථනයෙන් බලපෑම් කළ බව කියන ඉඳුනිල් ඉන්දික නමැති අයකුගෙන් ප්‍රශ්න කළ බව දන්වා සිටියේය. ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලෙස්‌ලි ජයසිංහ මහතා පෙනී සිටියේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු කිසිවෙක්‌ පෙනී නොසිටියහ.

යළි නඩු විභාගය ජනවාරි 07 දින විභාගයට ගැනීමට නියමිතය.
 

No comments: