Thursday, December 27, 2012

ලක්‌දිව මෙහෙණි ශාසනය ඇරැඹුණු උඳුවප් පොහොය

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත්වූ අනුලා දේවිය ප්‍රධාන පන්සියයක්‌ ආර්ය කාන්තාවන් බවට පත්වූ සිංහල කාන්තා පක්‍ෂයට පැවිදි වීමට ඉඩකඩ ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ හා දෙවනපෑතිස්‌ රජුගේ ආරාධනාවෙන් උඳුවප් පොහොය දින සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන එකොළොස්‌ නමක්‌ භික්‌ෂුණී සංඝයා ලංකාවට වැඩම කර එම ස්‌ත්‍රී සමූහයා පැවිදි කොට ලංකා මෙහෙණි සසුන පිහිටුවීමෙන් අනතුරුවයි.

ශ්‍රී සංඝමිත්තා මහ රහත් මෙහෙණිය, ලංකා මෙහෙණි සසුන, ජයසිරි මහ බෝධිය, අනුරාධපුරය, සිංහල කාන්තා ප්‍රබෝධය පිළිබඳව මෙනෙහි කරන හැම බෞද්ධයන් තුළම ඇතිවන්නේ මහා ප්‍රීතියක්‌. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු එකොළොස්‌ නමක්‌ භික්‍ෂුණීන් වහන්සේ ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව රැගෙන ලක්‌දිවට වැඩම කිරීම, ලක්‌දිව භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම හා

ශ්‍රී ලංකා කාන්තා දිනය සැමරීම ආදී ඉතා වැදගත් කරුණු රැසක්‌ සිහිපත් කරන්නේ මෙම උඳුවප් පොහොය දවසේයි.

මහත් ආත්ම ශක්‌තියකින් හා ආත්ම බලයකින් යුත් සංඝමිත්තා උත්තමාව ලාංකික කාන්තාවන් වෙනුවෙන් කළ පරිත්‍යාගය සිංහල ජාතිය පවත්නාතාක්‌ පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ පවතිනු ඇත.

විහාරමහා දේවිය වැනි වීරෝදාර මාතාවන්, සෝමා දේවිය වැනි පති භක්‌තියෙන් හා දේශමාමකත්වයෙන් යුතු වීරවරියන්, ලීලාවතී, කල්‍යාණවතී වැනි රාජ්‍ය පාලනයෙහි නියුක්‌ත රාජ මෙහෙසියන්, ඇහැළපොළ කුමාරිහාමි වැනි ආදර්ශවත් මාතාවන්, හේමාවන් වැනි ගුණ නුවණින් යුතු වනිතාවන් මේ රටේ පහළ වූයේ නම් මතුවටද පහළ වන්නේ නම් ඒ සංඝමිත්තා රහත් උත්තමාවගේ අනුපමේය සේවයේ විශිෂ්ට ඵලය නිසාමය.

නොයෙක්‌ ග්‍රන්ථකරණයේත්, ධර්මදූත සේවාවේත් යෙදුන සිංහල භික්‌ෂුණීන් පිළිබඳ වැදගත් ප්‍රවෘත්ති ඉන්දියා ඉතිහාසයෙහි සඳහන් වී ඇත. වරක්‌ පිරිහී ගිය චීන භික්‌ෂුණී ශාසනය නැවත ඇති කරන ලද්දේ ලංකාවෙන් වැඩම කළ සිංහල භික්‍ෂුණීන් විසිනි. මෙසේ ජාත්‍යන්තර කීර්තියට පත්වෙමින් සිංහල භික්‍ෂුණී සංඝයා විසින් උදාර සේවාවක්‌ සිදු කරන ලදී.

දුටුගැමුණු රාජ්‍ය සමය වන විට ලංකා භික්‌ෂුණී ශාසනය විශාල වශයෙන් දියුණු වී තිබුණි. සාමාජික, ආර්ථික ආදී වශයෙන් යම් උච්ඡස්‌ථානයකට සිංහල කාන්තාව පැමිණියා නම් ඒ සියල්ලම ශ්‍රී සංඝමිත්තා උත්තමාවගේ උද්දීප්ත යුගය සිහිපත් කරන සංකේතයන් යෑයි කීම වරදක්‌ නොවේ.

සිංහල කාන්තා පක්‌ෂයට සෞභාග්‍යයේ අරුණෝදයෙන් ප්‍රබෝධමත් වන්නට හැකිවූයේ එතුමිය විසින් හෙළි පෙහෙළි කර දුන් විමුක්‌තියේ රජත මාර්ගය නිසා බව හැම හෙළ කාන්තාවක විසින්ම මහත් වූ ගෞරව නමස්‌කාරයෙන් යුතුව සිහිපත් කළ යුතුය.

මාවල්ගම Æණිස්‌සර හිමි
පාදුක්‌ක, උඩුමුල්ල ශ්‍රී විමලජෝති පරිවෙණාධිපති,

No comments: