Thursday, December 6, 2012

රතු වැස්ස පිටස්තර ග්‍රහලෝකයකින් ඇදහැලුණු එකක්


ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැලුණු "රතු වැස්ස" 2008 වසරේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ප්‍රදේශයකට පිටස්තර ග්‍රහ ලෝකයකින් පතිත වූ වැස්සට බොහෝ දුරට සමානකම් දක්වන බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පැවැසීය.

මහාචාර්ය වික්‍රමසිංහ මහතා - පිටස්තර ග්‍රහලෝකවලින් පෘථිවියට ජීවීන් එන්නට ඇතැයි යන සංකල්පය පිළිබඳ පර්යේෂණ සිදුකරන ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියෙකි.

එමෙන්ම මහාචාර්ය වික්‍රමසිංහ මහතා වූ කලී කැඩිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්ද, බකිංහැම් විශ්වවිද්‍යාලයේ ගෞරවනීය මහාචාර්යවරයෙක්ද, බකිංහැම් මාලිගයේ ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාද වන්නේය.

මෙවැනි "රතු වැසි" ලොව බොහෝ ප්‍රදේශවලට විටින් විට පතිත වී ඇතැයිද, එහි ආසන්නම සිදුවීම 2008 වසරේදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේද සිදුවී ඇතැයිද පැවැසූ මහාචාර්යවරයා 2001 වසරේදීත් කේරළයේ මෙවැනි වැස්සක් පතිත වී ඇතැයිද ප්‍රකාශ කෙළේය.

මේ වැසි බිඳුවල පොළොවේ දක්නට ඇති බැක්ටීරියා ඇල්ගී වැනි දේ දක්නට ලැබෙන නමුත් ඒවා විශ්ලේෂණය කිරීමේදී පොළොවේ දේවලට වෙනස් වූ වෙනත් ග්‍රහලෝකවලින් වැටෙන ඒවාට සමාන අංශු අඩංගු බවට විශ්වාස කළ හැකි බව සඳහන් කරන මහාචාර්ය වික්‍රමසිංහ එම වැසි ශරීර සෞඛ්‍යයට අහිතකර බවට මෙතෙක් සාධක ලැබී නැති බවත් පැවැසුවේය.

එමෙන්ම තමන් ශ්‍රී ලංකාවේදී වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා ඇතුළු පිරිසක් සමඟ "රතු වැස්ස" පිළිබඳ සාකච්ඡා කළ බවත්, එහිදී තමන් ශ්‍රී ලංකාවට ඇදහැලුණු "රතු වැස්ස" සාම්පලයක් හෝ නොදුටු බවත්, දුටුවේ ඡායාරූප හා වීඩියෝ දර්ශන පමණක් බවත් කීවේය.
"රතු වැස්ස" පිළිබඳ සාකච්ඡාවේදී තමන් උපදේශයකු ලෙස සහභාගි වූ බව කී මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ එහිදී තම අත්දැකීම් ශ්‍රී ලංකාවේ මේ ගැන පරීක්ෂණ පවත්වන කණ්ඩායම හා බෙදාගත් බවද පැවැසීය.

No comments: