Thursday, December 6, 2012

අලුතින් ගත් බයිසිකලයේ සැගවුණු මාරයා....



පාපැදියකින් ගමන් කරමින් සිටි පාසල් දරුවන් දෙදෙනකු ඊයේ (05දා) පස්වරුවේ ගාල්ල තල්පෙ අනාරක්ෂිත දුම්රිය හරස් මර්ගයේදී දුම්රියක ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත.

වවුනියාව සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ මේ පාසල් දරුවන් දෙදෙනා ගැටී ඇත.
මේ අනතුරෙන් මියගොස් ඇත්තේ ගාල්ල තල්පෙ ඉඳිගහදුවවත්තේ පදිංචිව සිටි ඉෂාර මුදියන්සේලාගේ ඉමාන් සත්සර (10) හා හීනටිගල ආරච්චිගේ මදුෂාන් රශ්මිත නමැති දරුවන් දෙදෙනායි.

ඉමාන් සත්සර හබරාදුව අභයදාන විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලැබීය. මදුෂාන් රශ්මිත හබරාදුව වැල්ලතොට මහා විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලැබීය.
පාසල් ගොස් පැමිණි මේ දරුවන් දෙදෙනා ඊයේ (05දා) පස්වරුවේ ඉමාන් සත්සරට අලුතෙන් මිලදී ගෙන තිබූ පාපැදියෙන් ඒ අසල තිබූ කඩයකට ගොස් ආපසු එමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇත. ඉමාන් සත්සර දරුවාගේ ආච්චි අම්මා වන ඩබ්ලිව්. ලලිතා හඬා වැලපෙමින් අප සමග මෙසේ කීවාය.

මේ දරුවාගේ අම්මා විදේශ ගතවෙලයි ඉන්නේ. පුතා අම්මාට කියනවා පාපැදියක් අරන්දෙන්න කියලා. පුතාගෙන් බේරුමක් තිබුණේ නැහැ. පාපැදියක් අරන් දෙනකම්. පස්සේ අම්මා රට ඉඳල මුදල් එවලා තිබුණා පුතාට පාපැදියක් අරන් දෙන්න කියලා. ඊයේ (05දා) උදේ ගාලු ගිහින් පුතාට තාත්තා පාපැදියක් අරන් දුන්නා. පාපැදිය අරන් දීලා පැය දෙකක් වත් ගියේ නැහැ.

පුතා අසල්වැසි මිතුරකු සමඟ පාපැදියෙන් කඩයට ගිහින් තියෙනවා. කඩයට ගිහිල්ල එන විට තමයි මේ අනතුරට ලක්වෙලා තියෙන්නේ. ආච්චි අම්මා මරළතෝනි දෙමින් එසේ පවසන්නීය.

අනේ මගේ කොල්ලා කවුද අරන් ගියේ, අනේ මගේ කොල්ලා මට නැතිවුණා. පාසල් ගිහින් ඇවිත් හත වසරට සමත් බව කීවා. අනේ දෙයියනේ මාගේ පුතා නැතිව මට ඉඳලා වැඩක් නැහැ. මියගිය මදුෂාන් රශ්මිතගේ මව මරළතෝනි දෙමින් හඬා වැලපෙමින් එසේ කියන්නීය.

මැටරඹ හදිසි මරණ පරීක්ෂක වයි. එන්. නිල්මිණි මහත්මිය අනතුර වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වනු ලැබීය. හදිසි මරණ පරීක්ෂකවරියගේ නියෝගය මත මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලට රැගෙන යනු ලැබීය.

No comments: