Monday, December 10, 2012

වාරි ඉංජිනේරු උද්ඝෝෂණයට මමත් එනවා - ඇමැති නිමල් සිරිපාල

වාරි ඉන්ජිනේරුවරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් වන කෙනෙහිලිකම්වලට එරෙහිව අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණ කිරීමට වාරි ඉන්ජිනේරුවරුන් සමග තමුන්ද එක්වෙනවා යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ පසුගියදා වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති වාරිමාර්ග ඉන්ජිනේරු සංගමයේ 40 වැනි වාර්ෂික සමුළුව අමතමිනි. අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
පී.බි. ජයසුන්දර මහතා අත්සන් කර එවූ ලියුමට අදාළ චක්‍ර‍ලේඛය පරිපාලන අමාත්‍යංශය තවම නිකුත් කර නැහැ. සේවා ව්‍යවස්ථාව ගැසට් කර නැහැ. අපේ රටේ පරිපාලන සේවය මළකඩ කාලා. රාජ්‍ය සේවයේ මේ ස්වභාවය වෙනස් කිරීමට ජනාධිපතිවරයා විශාල කාර්යයක් ඉටුකරනවා. නමුත් නිලධාරීවාදය නිසා විශාල ප්‍රමාදයන් සිදුවෙනවා. කෙසේ වූවත් මේ සැරේ මෙම කාරණය මම අත්හරින්නේ නැහැ. රාජ්‍ය පරිපාලන ඇමැති සමග සාකච්ඡා පවත්වනවා. රටට විශාල සේවයක් කරන තමුන්නාන්සේලා මේ විදිහට පීඩා විදින්න අවශ්‍ය නැහැ. යම් බලපෑමක් සිදුකර හෝ මේ ගැටලුව විසඳාගත යුතුයි.
රජය යම් තීරණයක් ගෙන තිබෙනවා නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ කාර්යය එය ක්‍රියාත්මක කිරීමයි. වසරකට ඉන්ජිනේරුවන් 1000ක් බිහි වූවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිටින්නේ ඉන්ජිනේරුවරුන් 250ක් පමණයි. 1980දී තුන්සිය විසිනවයක් ඉන්ජිනේරුවන් සිටියත් 2011 වන විට එකසිය හැත්තෑ අටක් බවට පත්වුණා. 2012දී ඉන්ජිනේරුවන් ප්‍රමාණය 237ක් බවට වැඩිකර ගත්තා.
වෛද්‍යවරුන්ට පෞද්ගලික සායන මගින් මුදල් සොයාගත හැකියි. ඉංජිනේරුවරුන්ට එවැනි දෙයක් නැති නිසා ඔවුන් විදේශගත වෙනවා. විදුලිබල, ජල සම්පාදන ඉන්ජිනේරුවරුන් වැඩවර්ජනය කළ විට එය ජන ජීවිතයට බලපානවා. වාරි ඉන්ජිනේරුවරුන් වැඩවර්ජනය කළත් එය රටට දැනෙන්නේ නැහැ. ඕන නම් කුඹුරු ටික පාළුවෙයි කියලා සමහරු හිතනවා. නමුත් රටේ ආහාර නිෂ්පාදනය රැඳී තිබෙන්නේ වාරි ඉන්ජිනේරුවන්ගේ කැපවීම මතයි. පානීය ජලය ලබාදෙන්නෙත් අපේ ජලාශවලින්. විද්‍යාවේදී උපාධිය සමත් ඉන්ජිනේරුවරුන් කෙළින්ම බඳවා ගැනීමට ළඟදීම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. විද්‍යාවේදී උපාධිය සමතුන්ට ඉන්ජිනේරුවරුන් පුහුණුකිරීමේ ආයතනවල විභාග අවශ්‍ය නැහැ. ඒ වගේම වාරි ඉන්ජිනේරු ක්‍ෂේත්‍රයට අදාළ උපාධියක් බිහිනොකිරීමත් අපේ අධ්‍යාපනඥයින් කළ විශාල වරදක්. ඒ නිසා අපි ස්තූතිවන්ත විය යුතුයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද ඉන්න ඉංජිනේරුවරුන් දෙසිය පනස්දෙනාට.
වාරිමාර්ග ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවයක් කළ ‍‍‍ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග ඉන්ජිනේරුවරුන්ට අමාත්‍යවරයා විසින් තිළිණ ප්‍රදානය කරනු ලැබිය. වාරිමාර්ග අමාත්‍යංශයේ ‍ලේකම් අයිවන්ද සිල්වා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස, ඉන්ජිනේරු සංගමයේ සභාපති එස්.පී.පී. ගමගේ යන මහත්ම මහත්මීද එහිදී කතා කළහ.

No comments: