Thursday, December 6, 2012

අධ්‍යාපන ඇමැතිගෙ කතාව දික්ගැහිලා: සඟරුවනට දානය නැති වෙලා



ලබන වසරට පාසල් නිල ඇඳුම් ලබාදීමේ ජාතික නිල උත්සවය පැවැති පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයට වැඩම කළ මහ
සංඝයා වහන්සේට දහවල් දානයත් නොලැබීම කුසගින්නේ සිවුරු ලබාගෙන ආපසු වඩින්නට සිදුවිය. පෙරේදා (4 දා) පෙරවරුවේ පැවැති මේ උත්සව අවස්ථාවට පාසල් සිසු සිසුවියන්ට අමතරව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සමඟ මහා සංඝරත්නයද වැඩම කර සිටියහ.

උත්සවය පැවැතියේ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මේ උත්සවයට වැඩම කර සිටියේ නිල ඇඳුම් බෙදාදීමේ ජාතික උළෙලේදී නිල වශයෙන් සිවුරු ලබා ගැනීමටය.
අධ්‍යාපන ඇමැතිවරයා පොළොන්නරුව රාජකීය විද්‍යාලයට පැමිණියේ පෙරවරු 10.00ට පමණය. දේශපාලනඥයන් කීපදෙනකු සභාව ඇමැතීමෙන් අනතුරුව කතා කෙළේ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතායි.

ඔහු පස්වරු 12.20 දක්වා විනාඩි 45 පමණ කාලයක් කතා කළ අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට පාසල් නිල ඇඳුම් දීමෙන් අනතුරුව නොමිලයේ සිවුරු පිරිනැමීම සිදුවූයේ ඉන් අනතුරුවය. මේ කටයුත්තට ගතවූ කාලය නිසාත් සංඝයා වහන්සේට දානය වැලඳීමේ නියමිත කාලය ගෙවූ තිබූ නිසාත්, උන්වහන්සේට දහවල් දානය පිළිගැන්වීමට උත්සව සංවිධායකයන් විසින් වැඩපිළිවෙළක් සංවිධානය කර නොතිබූ නිසාත්, උන්වහන්සේට සිවුරු දෑතින් රැගෙන කුසගින්නේ ආපසු වඩින්නට සිදුවූහ.
උත්සව සංවිධාන කටයුතු කණ්ඩායම් කීපයක් විසින් සිදුකිරීමෙන් ඔවුන් අතර පැවැති කඹ ඇදීම් නිසා මෙවැනි තත්ත්වයකට භික්ෂුන් වහන්සේට මුහුණ දෙන්නට සිදුවූ බව වාර්තා වේ.

No comments: