Monday, December 24, 2012

තිස්‌ස වැවේ බෝට්‌ටු සවාරිය කඳුළු ගඟක්‌ වේ මරණ 7 යි 10 ක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ 22 ක්‌ ගිහින් ජීවිතාරක්‍ෂක කබා 9 ක්‌ තිබුණත් කිසිවකු ඒවා පැළැඳ නෑ

07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතු වී ඇත්තේ දස දෙනකුට පමණක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ ඉතාම අනාරක්‍ෂිත ආකාරයට අධික බීමතින් පුද්ගලයන් 22 දෙනකු ගමන් කිරීම බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම බෝට්‌ටුවේ ජීවිත ආරක්‍ෂක කබා 09 ක්‌ තිබූ නමුත් එහි ගමන් කළ කිසිවකු ඒවා පැළඳ නොසිටි බවද හෙළිවී තිබේ. මේ අතර බෝට්‌ටුව පැදවූ පුද්ගලයාද අධික ලෙස බීමත්ව ඉතාම නොසැලකිලිමත් ආකාරයට බෝට්‌ටුව පදවා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

ඒ අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (22 වැනිදා) සවස 3.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්‌ව දැඩි වෙහෙසක්‌ දරා සෙසු පිsරිස බේරාගෙන ඇත.

බෝට්‌ටු චාරිකාවේ යෙදුණු පුද්ගලයන් අධික ලෙස බීමත්ව ඉතාම අනාරක්‍ෂිත ආකාරයට බෝට්‌ටුව තුළ හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ බෝට්‌ටුවේ සමබරතාව පාලනය කර ගැනීමට නොහැකිව එකවර එය පෙරළී ගිය බව දිවි ගලවාගත් පුද්ගලයකු පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මුනිසාමි මාටින් රසික චන්දිමාල් (26), කළුතර පටබැඳිගේ අසේල නිරෝෂන (20), නම්මුනිගේ ශ්‍රියන්ත පීරිස්‌, මුත්තු කුමාර් ශ්‍රීධරන් (18) නමැති ඉංගිරිය ශාන්ත පීතර ජනපදයේ පදිංචිකරුවන් සහ පැලවත්ත, ගලහිටියාව, ගොඩකවෙල පදිංචි බෝපැත්aත ලියනගේ රොෂාන් තිලකරත්න, අඟුණුකොළපැලැස්‌ස පදිංචි සිරිගල දෙකන රාළලාගේ රනිල් චමින්ද කුමාර, පාදුක්‌ක අංගම්පිටියේ පදිංචි ඩී. මනෝඡ් යන 7 දෙනායි.

මෙම පිරිස කතරගම වන්දනාවේ ගොස්‌ අනතුරුව තිස්‌ස වැවේ බෝට්‌ටු සංචාරයකට පැමිණ බෝට්‌ටුවේ නැගී වැව වටා ගොස්‌ නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්‌ වී ඇත.

අනතුර සිදුවී පැය කිහිපයක්‌ යන විට අතුරුදන් වූ පස්‌ දෙනකුගේ සිරුරු නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබූ අතර දෙදෙනකුගේ සිරුරු ඊයේ (23 වැනිදා) පෙරවරුවේ සොයාගෙන තිබුණි. මියගිය පිරිස හෝමාගම ප්‍රදේශයේ කම්බිදැල් නිෂ්පාදනය කරන ආයතනයකට අනුයුක්‌තව සේවය කරන පිරිසක්‌ බව හඳුනාගෙන ඇත.
 

No comments: