Monday, December 31, 2012

පරිභෝජනයට නුසුදුසු ඉන්දියාවෙන් ගෙන්වූ සතොස ලොකු ලූනු ගබඩා 3කට සීල් තබයි

ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගන්නා මුවාවෙන් දඹුල්ලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් පරිභෝජනයට නුසුදුසු ආනයනික ලොකු ලූනු කිලෝ 44,700 ක්‌ මිලදී ගෙන ගබඩාකර තිබූ ලංකා සතොස ගබඩා තුනක්‌ සීල් තැබීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (30 වැනිදා) පියවර ගත්තේය.

අමාත්‍යවරයාට ලැබුණු තොරතුරක්‌ මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක්‌ විසින් පෙරේදා (29 වැනිදා) හදිසි වැටලීමක්‌ කර වැලිසර කුරුණෑගල ගැට්‌ටුවාන සහ මැකලම් පාර ලංකා සතොස තොග ගබඩාවල ගබඩාකර තිබියදී මෙම ලූනු තොගය සොයාගෙන තිබේ.

දේශීය ගොවීන්ගෙන් පහසුවෙන් ලොකු ලූනු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පටිපාටිය ඉවත්කර තිබෙන අතර එය සැලකිල්ලට ගෙන ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගන්නා මුවාවෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඇති පරිභෝජනයට නුසුදුසු ලක්‍ෂ 45 ක්‌ පමණ වටිනා ලූනු මිලදීගෙන ඇතැයි වැටලීමට සහභාගිවූ නිලධාරියෙක්‌ කීය.

මෙසේ පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු මිලදී ගත් ලංකා සතොස නිලධාරීන් සහ ඒ සඳහා වගකිවයුතු සියලු නිලධාරීන්ගේ රාජකාරිය වහාම අත්හිටුවන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ජී. කේ. ඩී. අමරවර්ධන මහතාට ඇමැතිවරයා ඊයේ (30 වැනිදා) උපදෙස්‌ දී තිබේ.

එමෙන්ම පාරිභෝජනයට නුසුදුසු ආහාර සතොස මගින් අලෙවි කරනවාද යන්න නිතර සොයා බලන ලෙසද ඇමැතිවරයා පාරිභෝගික අධිකාරියට උපදෙස්‌ දී ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 

No comments: