Thursday, December 20, 2012

රත්මලානේ ත්‍රිත්ව ඝාතන සැමියාගේ තනි වැඩක්‌ මව හෝ වෙනත් අයකු හවුල් වී නෑ

රත්මලාන ගොළුමඩම හන්දිය අසල නිවසක්‌ තුළ වේල්ස්‌ කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ තුන් හැවිරිදි දරුවා ඝාතනය කර පුළුස්‌සා දමා ඇත්තේ මියගිය ගුරුවරියගේ සැමියා බව ඊයේ (19 වැනිදා) ගල්කිස්‌ස පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම ඝාතන සිදු කළ පුද්ගලයා නිවසේ නැන්දම්මා ලෙස පෙනී සිටි කාන්තාව විසින් දරුවන් නොමැතිකම නිසා අරන් හදාගත් අයකු බවද හෙළිවී ඇත.

ඔහු කුඩා කල අරන්හදා වඩා ගත්තද කොළඹ ප්‍රධාන පාසලකට යවා අධ්‍යාපනය ලබාදී තිබේ. සැකකරු ඒ සාමාර්ථ දෙකක්‌ සහ "බී" සාමාර්ථයක්‌ ලෙස උසස්‌ පෙළ ප්‍රතිඵල ලබා ඇත. නිවසේ නැන්දම්මා ලෙස කටයුතු කළ මව ගුරු උපදේශිකාවක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින අතර ඇය හෝ වෙනත් කිසිවකු මෙම ඝාතනවලට කිසිදු සම්බන්ධයක්‌ තිබූ බවට හෙළිවී නැති බවත් පොලිසිය පවසයි.

ගුරුවරියගේ සැමියා වන මේ ඝාතකයා පුත්තලම ප්‍රදේශයේ කාන්තාවක සමග අනියම් ඇසුරක්‌ පැවැති බවද නිතරම සම්භාහන මධ්‍යස්‌ථානවල පහස ලැබූ අයකු බවද ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනයට ලක්‌වූ ගුරුවරිය වෙනත් සම්බන්ධයක්‌ පවත්වාගෙන යැම නිසා ඝාතනය කළ බව පොලිසියට ප්‍රකාශ කර තිබුණත් පොලිස්‌ විමර්ශනවලදී ඇයගේ එවැනි අනියම් සබඳතාවක්‌ පැවැති බවට නැන්දම්මාගෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හෙළිවී නැතැයිද පොලිසිය කියයි.

සිද්ධිය වූදා (17 වැනිදා) රාත්‍රි 12.00 ට පමණ තමාට අනියම් ඇසුරක්‌ තිබෙන බව පවසමින් බිරිඳ බැණ වැදීම නිසා ඇයට පහරදී ගෙල සිරකර මරා දැමූ බවද සැකකරු පොලිසියට පවසා ඇත. එම අවස්‌ථාවේ තුන් හැවිරිදි දරුවා ඇඳෙන් නැගිට ආච්චි අම්මාගේ නම කියාගෙන කාමරයෙන් පිටතට යැමට උත්සාහ කළ නිසා දරුවාගේද ගෙල සිරකර මරා ඇඳ මත තැබූ බවද ඔහු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මෙම ඝාතන සිදුකිරීමෙන් පසු බිරිඳ මාසයක්‌ වයසැති දරුවාට කිරිදෙන ලෙස මළ සිරුර සකස්‌ කර ඇඳේ මදුරු දැල දමා අසල තිබූ ඉටිපන්දමක්‌ පත්තු කර නිවා මෙට්‌ටය අසල තැබූ බවද සැකකරු පවසා තිබේ. අනතුරුව බිරිඳගේ සුවඳ විලවුන් බෝතලය මදුරු දැලට ඉස ගිනි තබා කාමරයේ දොර වසා උඩු මහලේ තමා සිටි කාමරයට ගිය බවද සැකකරු කියා ඇත.

පසුදා (18 දා) පෙරවරුවේ තම මව රූපවාහිනිය නැරඹීම සඳහා පැමිණ දරුවන් සිටින කාමරයට එබී දුමෙන් වැසී තිබෙනු දැක කෑ ගැසීම නිසා තමා උඩුමහලේ සිට දිව ඇවිත් ආධාර ඉල්ලා කෑ ගසා ගින්න නිවා දැමූ බවද ප්‍රශ්න කිරීමේදී ඔහු හෙළිකර ඇත.

බිරිඳගෙන් දික්‌කසාදය ලබා ගැනීමට අදහස්‌ කර තමන් සේවය කළ ඇඟලුම් ආයතනයෙන් සති දෙකකට පෙර ඉවත් වුවත් නීතිය හමුවේ පෙනී සිටීමට යැමෙන් තමාගේ තත්ත්වයට එය කැළලක්‌ විය හැකි නිසා එසේ නොකළ බවද වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙතෙම හෙළිකර ඇත.

බස්‌නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ, ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී රවීන්ද්‍ර කරවිට යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති එරික්‌ රෝහිත, කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකර සැකකරු කළුබෝවිල රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඊයේ (19 වැනිදා) යොමු කිරීමට කටයුතු කර තිබිණි.

No comments: