Monday, December 17, 2012

ප්‍රශ්න පත්‍රය පිටවුණාදැයි සී.අයි.ඩී. පරීක්‍ෂණ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු විසින් විද්‍යාව 1 ප්‍රශ්න පත්‍ර වංචාවක්‌ කර ඇති බවට විභාග කොමසාරිස්‌ ජනරාල් වරයාට පැමිණිලි ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය විභාග කොමසාරිස්‌වරුන් දෙදෙනකු විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණිලි කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඊයේ (16 වැනිදා) පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලු තොරතුරු එක්‌රැස්‌ කරගැනීමෙන් පසු අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් පියවරක්‌ ගන්නා බව ද ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය පිළිබඳ විභාගයෙන් පසුව ලද පැමිණිලි පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු කරගත් මොහොතේම සිද්ධිය පිළිබඳව පොලිස්‌පතිවරයාට මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින" ට ඊයේ පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණයෙන් පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණය කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා කීවේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද පරීක්‍ෂණ පවත්වන ලෙස ලංකා ගුරු සංගමය කොමසාරිස්‌ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.

No comments: