Monday, December 31, 2012

ටෝනි ග්‍රෙග් සමු ගනියි

ක්‍රිකට්‌ විස්‌තර විචාරකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක්‌ වූ එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රෙග් මහතා පෙරේදා (29 දා) හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. මියයන විට 66 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා පෙණහලු පිළිකාවකින් පෙළුණු බවද විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවේ, ක්‌වින්ස්‌ටවුන් හිදී 1946 ඔක්‌තෝබර් 06 වැනිදා උපත ලැබූ ඒ මහතා එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායම වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 58 කට සහ එක්‌ දින තරග 22 කට පමණ ක්‍රීඩා කර දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයකු ද වෙයි. 1977  වසරේදී ක්‍රීඩාවෙන් සමුගත් ඔහු ක්‍රිකට්‌ විස්‌තර විචාරකයකු වශයෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක්‌ බවට පත්විය.

ඔස්‌ටේ්‍රලියාව හා පාකිස්‌ථානය අතර 2012 අගෝස්‌තු හා සැප්තැම්බර් අතර ඩුබායි හිදී පැවැති ක්‍රිකට්‌ තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙලුණු බව අනාවරණය විය.

මුල් වරට එම රෝග තත්ත්වය ස්‌වාස නාලිකා රෝගයක්‌ ලෙස හඳුනාගත් නමුදු ඔහුගේ දකුණු පෙණහල්ලේ කුඩා ගැටිත්තක්‌ වැනි තත්ත්වයක්‌ දක්‌නට ඇතැයි නිරීක්‍ෂණය වී ඇත්තේ ලංකාවේදී නිමාවට පත්වූ පන්දුවාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය අතරතුරදීය. ඉන් අනතුරුව ටෝනි ග්‍රෙග් මහතා ඔස්‌ටේ්‍රලියාවට පැමිණීමෙන් පසු සිදු කළ පරීක්‍ෂාවකින් පසු ඔහුගේ පෙණහල්ලේ පිළිකාවක්‌ ඇතැයි නිශ්චිතව තහවුරු වූ බව විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

පසුව ඒ මහතාට ශල්‍යකර්මයක්‌ සිදු කළ බව විදෙස්‌ වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.

No comments: