Monday, December 10, 2012

භාෂා පරිවර්තකට පහර දුන් මන්ත්‍රී සොයයි

පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයෙකුට පහර දුන් බව කියන වෙන්නප්පුව ප්‍රාදේශීය සභා (පො.එ.පෙ) මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. ඉකුත් 09 වැනි දින වෙන්නප්පුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවක් අතර තුර මෙම පහර දීම සිදු කර ඇත. පහර කෑමට ලක්වූ බව කියන දික්වෙල - යෝගියාන ලිපිනයේ පදිංචි සේතුංග මුදියන්සේලාගේ ආනන්ද කුමාරතුංග කරුණාරත්න යන අය මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. දික්වෙල ප්‍රදේශයේ මාර්ගයක් සම්බන්ධයෙන් පැවති ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පහර කෑමට ලක්වූ අයට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට සාකච්ඡාවකට ආරාධනය කර ඇත.එම සාකච්ඡාව අතර තුර මෙම පහර දීම සිදු කළ බවත්,සිද්ධිය වන විට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද එම ස්ථානයේ සිටි බව පැමි‍ණිළිකරු පොලීසියට පවසා ඇත. සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පදිංචිව සිටින්නේ දංකොටුව පොලිස් වසමේ වන බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන බාර දෙන ලෙස වෙන්නප්පුව පොලීසිය විසින් දංකොටුව පොලීසියට දන්වා ඇත.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

No comments: