Saturday, February 2, 2013

පවිත්‍රානි ජීවිත මැරතන් එකෙන් සදහටම නික්‌ම ගියාය






මේ දිනවල දිවයිනේ බොහෝ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වීම සිදු කෙරේ. හලාවත ආනන්ද ජාතික පාසලේ ද වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ තරග පසුගියදා ආරම්භ වූයේ කා තුළත් දහසක්‌ බලාපොරොත්තු ඇති කරමින්ය.

සුපුරුදු පරිදි 31 වැනිදා උදා විය. ඉලිප්පදෙනිය - කණුකැටියේ පදිංචිව සිටි ආර්. ඩී. කෞශල්‍යා පවිත්‍රානි පාසල් නිල ඇඳුමින් සැරසී සිය පියා අසලට ගොස්‌ ඇවිටිලි කිරීමට පටන් ගත්තේ ඇගේ පියා වන සෝමසිරි මහතාගේ අනුමැතිය ගැනීමටය. ඒ එදින පැවැත්වෙන මාර්ග ධාවන තරගයට ඉදිරිපත්වීමට දෙමාපිය කැමැත්ත ලිඛිතව ලබාගත යුතු නිසාය. සිය දියණියගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි වූ ඔහු ඊට අනුමැතිය ලබාදුන්aනේ දෙගිඩියාවෙනි. ලොකු ජයග්‍රහණයක්‌ ලැබූ සේ ඇය "අම්මේ අද මම කොහොම හරි සහතිකයක්‌ අරන් එනවා" කියා නිවසින් නික්‌ම ගියේ වෙනදාට වඩා උද්යෝගයෙන්ය.

මවගේ බාල සොයුරියගේ දියණිය ද තරගයට ඉදිරිපත් වන නිසා පවිත්‍රානි "පුංචි අද මැරතන් එක සහතිකයක්‌ ගන්න ඕනෑ, අපට උදව් කරන්න එන්න" කියා සිය සොයුරියත් සමග පාසල වෙත පිය නැගුවේ කෙසේ හෝ තම බලාපොරොත්තුව ඉටුකර ගැනීමටය. විදුහලේ 13 වැනි ශේ්‍රණියේ අධ්‍යාපනය ලැබූ ඇය තව මාස කිහිපයකින් පැවැත්වෙන උසස්‌ පෙළ විභාගයට මුහුණදීමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු නොපිරිහෙලා ඉටුකර ගත්තේ අනාගතයේ රටට වැඩදායක තැනැත්තියක්‌ වීමේ බලාපොරොත්තුවෙනි.

එහෙත් මාර්ග ධාවන තරගය අවසන් කිරීමට ඇයට නොහැකි විය. තරගය අවසන්වීමට කිලෝ මීටරයක්‌ පමණ තිබියදී ඇය මාර්ගයේ ඇද වැටී අසල කානුවකට වැටුණි. අවට සිටි අය හා තරගයේ අධීක්‍ෂණයට පැමිණි අය සිතුවේ ඇය ක්‌ලාන්ත වී ඇදවැටෙන්නට ඇතැයි කියාය. ඉතා ඉක්‌මණින් අවට සිටි අය ඇය ඔසවා හලාවත රෝහල කරා ගෙන ගිය ද ඒ වන විටත් ඇය ජීවිතයෙන් සමුගෙන තිබිණි.

1993 මාර්තු 30 වැනිදා උපත ලැබූ පවිත්‍රානි ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගත් කෙළිලොල් යෞවනියකි. මෙම වසරේ අගෝස්‌තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස්‌ පෙළ විභාගය සමත්වී සරසවි වරම් ලබාගැනීමේ දැඩි බලාපොරොත්තුවක්‌ ඈ තුළ විය. පිරිමි දරුවකු නොමැති පවුලේ පිරිමි දරුවකුගේ වගකීම දැරීමට ඇය ශක්‌ති සම්පන්න වූවාය. මියයන විට ඇය විසි වැනි වියට ළඟා වෙමින් සිටියාය. පවිත්‍රානිගේ අවසන් කටයුතු අද 2 වැනිදා සෙනසුරාදා කණුකැටිය සුසාන භූමියේ සිදු කිරීමට නියමිතය.
 

No comments: