Saturday, February 2, 2013

ලෝක ශූරියෝ ශ්‍රී ලංකාවට පරදිති



ඉන්දියාවේ දැන් ක්‍රියාත්මක 10 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ඊයේ (1 දා) මුම්බායිහි පැවැති තරගයේදි ලෝක ශූර එංගලන්ත කණ්‌ඩායම කඩුලු 1 කින් පරදා තියුණු ජයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 239 ක ජයග්‍රාහී ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරගයේ අවසාන පන්දුවෙන් ලකුණු 1 ක්‌ ලබාගත යුතුව තිබූ අතර ඊට හයේ පහරක්‌ එල්ල කරමින් සිය ජයග්‍රාහී ඉලක්‌කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් විය.

තරගයේ පළමු ඉනිම ඇරඹූ එංගලන්ත කණ්‌ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 238 ක්‌ රැස්‌ කළ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 ක්‌ දැවී ලකුණු 244 ක්‌ රැස්‌ කිරීමට සමත් විය.

පරාජිත එංගලන්ත කණ්‌ඩායම අවසන් වරට 2008 වසරේ පැවැති ලෝක කුසලාන කාන්තා තරගාවලියේ ශූරතාව දිනා ගත් කණ්‌ඩායම වෙයි.

ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ජයග්‍රාහී මාවතට යොමු කිරීමේ ගෞරවය ඒෂානි ලොකුසූරියට හිමිවිය. ඇය හුදකලා පිතිහරඹයක නිරත වෙමින්පන්දු 41 කදී හයේ පහර 3 ක්‌ සහ හතරේ පහර 5 ක්‌ එල්ලකරමින් ලකුණු 56 ක්‌ රැස්‌කළ අතර තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුවාය. එංගලන්ත ඉනිම වෙනුවෙන් ඡේ. එල්. ගුන්න් ද අර්ධ ශතකයක්‌ (ලකුණු 52) වාර්තා කිරීමට සමත් වූවාය.

පන්දු යෑවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒෂානි ලොකුසූරිය, සිරිවර්ධන සහ සෙනෙවිරත්න කඩුලු 2 බැගින් බිඳ හෙළුහ.
 

No comments: