Thursday, February 7, 2013

මහරගම පිළිකා රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක්



මහරගම පිළිකා රෝහලේ නවීන පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අද (07) ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම පිළිකා ප්‍රතිකාරක මධ්‍යස්ථානය වන මහරගම පිළිකා රෝහලේ දැනට නේවාසික රෝගීන් 850ක් පමණ ප්‍රතිකාර ලබන අතර දෛනික ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 3000 ඉක්මවයි.

ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය එංගලන්තයේ අහමඩ් තේ සමාගමෙන් කරන ලද ඉල්ලීමේ ප්‍රතිඵලයක් මත එම ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් හා ශ්‍රී ලංකා රජයේ ද අනුග්‍රහය ඇති ව මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. ඒ අනුව ඇස්තමේන්තුගත මුදල වන රුපියල් මිලියන 1500ක මුදලින් රුපියල් මිලියන 900ක් අහමඩ් තේ සමාගම විසින් ද ඉතිරි මිලියන 600ක මුදල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ඇති ව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් ද දරනු ලබයි. රජය මගින් දරනු ලබන රුපියල් මිලියන 600න් මිලියන 300ක් වෛද්‍ය උපකරණ සඳහා ද ඉතිරි රුපියල් මිලියන 300 ජල පිරිපහදුව, අපද්‍රව්‍ය බැහැරකිරීම හා කළමනාකරණය සඳහා වැය කෙරේ.

මහරගම පිළිකා රෝහලට යාබද ව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණය නම් කොට ඇත්තේ ‘රසාවී වෛද්‍ය සංකීර්ණය‘ ලෙසයි. ලොව අති නවීන වෛද්‍ය ප්‍රතිකාර පහසුකම්වලින් සමන්විත ව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණය මහල් 6කින් සමන්විත වන අතර එකවර රෝගීන් 450කට පමණ නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකිවේ. මෙම වාට්ටු සංකීර්ණය තුළ නවීන ශල්‍යාගාර 05ක් දෛනික ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට විශාල බාහිර ප්‍රතිකාර ඒකකයක්, දැඩි සත්කාර ඒකක 02ක්, වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානයක්, නවීන දේශන ශාලා සහ පිළිකා පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වීමේ ඒකකයක් ද ස්ථාපනය කෙරේ.

වසර එක හමාරක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කොට ඇති අතර මෙම නව රෝහල් සංකීර්ණ ව්‍යාපෘතිය වසර දෙකක් තුළ නිම කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, එංගලන්තයේ අහමඩ් තේ සමාගමේ සභාපති අහමඩ් අපර්සාර්, පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

No comments: