Monday, February 11, 2013

අත අහිමිවූ අචලා බලන්න මව ලෙබනනයේ සිට එයි ...........

මාතර ‍මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් අතක් අහිමි වූ නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනීගේ මව වන පී. ලීලාවතී මහත්මිය ලෙබනනයේ සිට පෙරේදා (9) මෙරටට පැමිණියාය.

සිය දියණියට වූ විපත අසා සෝ දුකින් තැවුණු ලීලාවතී මහත්මිය රජයේ වියදමින් මෙරටට කැඳවනු ලැබූ අතර පෙරේදා සවස පහට පමණ ඇය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් මෙරටට ළඟා වූවාය.

මෙරටට පැමිණි වහාම ලීලාවතී මහත්මිය කොළඹ ජාතික රෝහලට පැමිණියේ සිය දියණියගේ වම් අත ශල්‍ය කර්මයකින් කපා ඉවත් කිරීමෙන් පසු පළමුවරට දැකගැනීමේ අපේක්ෂාවෙනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනි මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ තරුණියක් වන අතර නිවෙසේදී සිදු වූ වැටීමකදී අස්ථි බිදීමකට ලක්ව මාතර මහ රෝහලට ඇතුළත් කර තිබිණ.

පසුව අධික වේදනාව හේතුවෙන් මෙම සිසුවිය ජාතික රෝහලට මාරු කර යැවුණු අතර ජාතික රෝහලේදී සිදු කළ ශල්‍යකර්ම තුනකින් පසු ඇගේ වම් අත කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල සිසුවියගේ අත කපා දැමීමට හේතුව වශයෙන් මතයක් තිබුණද, සිද්ධියේ සැබෑ තත්ත්වය විමසා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශන කණ්ඩායමක් ද පත් කර ඇත

No comments: