Friday, February 8, 2013

තීන්ත ගාන්න සල්ලි ගත්තොත් විදුහල්පතිවරුන්ට වැඩ වරදී!




පාසල් සිසුන්ගෙන් පන්ති කාමරවලට තීන්ත ගෑම වැනි කටයුතු වෙනුවෙන් අයථා අන්දමින් මුදල් එකතු කරන විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළේය. පවතින චක්‍ර‍ලේඛයන් වෙනස් කොට ඒ වෙනුවෙන් නව චක්‍ර‍ලේඛයක් ඉදිරි දින කිහිපය තුළදි නිකුත් කිරිමට කටයුතු කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය. පන්තියේ තීන්ත ගෑම සඳහා මුදල් එකතු කිරිමට අසල්වැසි වත්තකින් ‍පොල් ගෙඩි කිහිපයක් සොරකම් කළේ යැයි සිසුවියක් අධිකරණය හමුවට පැමිණවීමේ සිද්ධිය පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රශ්න කළේය. අයථා ආකාරයෙන් මෙසේ මුදල් එකතු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව පළමුව ලඝු පරික්ෂණයක් පවත්වා පසුව ඔවුන්ගේ වැඩ තහනම් කරන බව අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය. පාසල් සිසුන්ගෙන් නිති විරෝධි ලෙස මුදල් අයකර ගන්නා විදුහල්පතිවරුන්ට එරෙහිව කටයුතු කරද්දී ඔවුන් ඒ ගැන මානව හිමිකම් කොමිසමට හා රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කිරිමට පෙළෙඹී සිටින බවත්, මෙම කොමිෂන් සභා මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඇතැම් විදුහල්පතිවරු පාසල් සංවර්ධන සමිති හරහා මුදල් එකතු කරමින් නිතියෙන් ගැලවීමට උත්සාහ කරන බවද බුද්ධික පතිරණ මහතා මෙහිදි කියා සිටියේය. ඊට පිළිතුරු සැපයු අධ්‍යාපන ඇමැතිවරයා ඉතිහාසයේ සිදුවු වැරැදි යළි නොවන ලෙස හොඳ චක්‍ර‍ලේඛයක් සැකසීමට පක්ෂ විපක්ෂ භේද නොතකා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. එයට හොඳම තැන අමාත්‍යාංශ උපදේශක කාරක සභාව යැයිද ඔහු සඳහන් කළේය.

No comments: