Monday, November 12, 2012

වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය විමර්ශනයට ත්‍රි පුද්ගල කමිටුවක් ඇමැති ගජධීර පාර්ලිමේන්තුවේදි කියයි

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධව විමර්ශනය කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (10) විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධව විශේෂ වාර්තාවක් ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. රෝහල් ගත වූ සංඛ්‍යාවෙන් රැදවියන් 16 දෙනෙකු මිය ගොස් ඇති බවද, වැලිකඩ බන්ධනාගරය තුළ තවත් රැදවියන් 11දෙනකු මිය ගොස් ඇතැයි තොරතුරු ලැබි ඇති බවද ගජධීර මහතා අනාවරණය කළේය.මෙම සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ 13ක් යුද හමුදාවේ 4ක් බන්ධනාගාර නිලධාරීයෙක් සිවිල් වැසියෙක් සහ මාධ්‍යවේදියෙක් තුවාල ලබා ඇතැයි ඇමැතිවරයා කීය.
විශේෂ කර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේවන විට සැත්කමක් සිදු කර තිබෙන බවද චන්ද්‍රසිරි ගජධීර මහතා පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 3621ක් සිටිනවා.මෙවැනි සෝදිසි මෙහෙයුම් නිරන්තරයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදු කරනවා. රැදවියන් 900ක් සිටිය වාට්ටු දෙකක් අවස්ථා තුනකදී සෝදිසි කරන්නට උත්සාහ කළා.
සෝදිසි මෙහෙයුම කළේ බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්. බන්ධනාගාරයට අධි බලැති සෝදිසි මෙහෙයුම් උපකරණ නැහැ. ඒ නිසයි විශේෂ කාර්ය බළකාය සමඟ ඒකාබද්ධව මේ මෙහෙයුම සිදු කළේ. විශේෂ කාර්ය බළකාය එක් කර ගන්න තවත් කරුණක් වුණේ .අවසනාවන්ත තත්ත්වයක් ඇති වුණොත් එය වළක්වා ගන්නයි. සෝදිසියේදී නීති විරෝධී භාණ්ඩ හමු වුණා. එහිදී රැදවියන් පිරිසක් දොරවල් කඩාගෙන පැමිණ නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කළා. බන්ධනාගාරයේ අවි ගබඩාව කඩලා අවි 82ක් පැහැරගෙන තිබුණා. යළි අවි බාර දෙන ලෙස බන්ධනාගාර නිලධාරින් ඉල්ලීමක් කළා.
රැදවියන් 11 දෙනෙකු හැරෙන්නට අනෙක් රැදවියන් අවි භාර දීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් බන්ධනාගාරයේ ඖෂධ අංශ කඩලා මත් පෙති භාවිතා කරමින් බන්ධනාගර දේපළවලට හානිවන අයුරින් හැසිරුණා. තත්ත්වය සමථයට පත් කිරිමට යුද හමුදාව කැඳවනු ලැබුවා. රැදවියන් අත තිබු අවි පහක් හැරෙන්නට අනෙක් අවි සියල්ල සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. මේ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වෙනවා.එම පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

No comments: