Wednesday, November 21, 2012

පා පුවරුව සිසුවියට මරු ගෙන එයි

                       උදෑසන පාසල් එමින් සිටින විට පුද්ගලික බස් රථයකින් බිමට වැටී බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර සිටි පාසල් සිසුවියක් මිය ගොස් ඇති බව හලාවත පෙලිසිය කියයි.
                        මිය ගොස් ඇත්තේ හලාවත , මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරිකා ලක්ෂිකා  නමැති 15 හැවිරිදි  පාසල් දැරියකි.  මිය ගොස් ඇති දැරිය තම නැගණියද සමඟ හලාවත නගරයේ පිහිටි පාසල් දෙකකට දිනපතා පැමිණ ඇත. ඉකුත් 6 වන දින පෙරවරු‍‍වේ ඇය තම නැගණියද සමඟ පාසල බලා පුද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටින විට දෙදෙනාවම පා පුවරුවෙන් ඇද වැටී ඇත.
                        පසුව එම බස් රථයේ ගමන් කළ අය සහ අවට සිටි පිරිස් එක්ව දෙදෙනාවම හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්වයේ පසුවූ වැඩිමහල් දැරිය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත‍.
                        කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටි දැරිය ඊයේ (20 වනදා) මිය ගොස් ඇත. අනතුරට සම්බන්ධ බස්  රථයේ රියදුරු  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හලාවත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ කරගෙන යයි.

No comments: