Tuesday, November 20, 2012

‘ලංකාලෝකය’ මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය ගිනිබත් කරයි

ගාල්ල හබරාදූව පොලිස් වසමේ පිහිටි කතළුව, රන්වැල්ල පුරාණ විහාරස්ථානයේ ඊයේ (19 වනදා) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නකින් එම විහාරස්ථානයේ ඉපැරණි ලැගුම්ගේ විනාශ වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වූ ‘ලංකාලෝකය’ 1860 වර්ෂයේ දී මුද්‍රණය කළැයි සැලකෙන ඉපැරණි මුද්‍රණ යන්ත්‍රය මෙම විහාරස්ථානයේ තිබූ බව කියන අතර මෙම ගින්න හටගත් කොටසේ එම යන්ත්‍රය ද තිබී ඇත. ගින්නෙන් එම යන්ත්‍රය සමග මුද්‍රණ අකුරු, පුස්කොළ පොත්, බුදු පිළිම ඇතුළු තවත් ඉපැරණි වටිනා වස්තු රාශියක් විනාශ වී තිබේ.
ඊයේ (19 වනදා) රාත්‍රි 10 ට පමණ ගින්න ආරම්භ වී තිබේ. එම අවස්ථාවේ රන්වැල්ල විහාරාධිපති ගලගම සුගතවංශ හිමියන් විහාරස්ථානයේ සිට නැති බව වාර්ථා වේ. වෙනත් විහාරස්ථානයක පිරිත් පිංකමක් සඳහා උන්වහන්සේ සහභාගි වෙමින් සිට ඇත.
විහාරස්ථානයේ සිට ඇත්තේ විහාරවාසි අහංගම හේමානන්ද හිමියන් පමණී. ඊයේ (19 වනදා) රාත්‍රි 7.30 ට පමණ අහංගම හේමානන්ද හිමියන් විහාරයේ විදුලි පහන් නිවා දමා නින්දට ගොස් ඇති අතර රාත්‍රියේ හදිසියේ අවදි වූ ඒ හිමියන්ට විහාරස්ථාන ගොඩනැගිලිවලින් දුම් පිටවන අයුරු දර්ශනය වී තිබේ. ඒ සමග උන්වහන්සේ යාබද පිහිටි තවත් විහාරස්ථානයක් කරා වැඩම කර එහි සිටි භික්ෂූන් වහන්සේලාට සිද්ධිය දැනුම් දී උන්වහන්සේලාද කැටුව පැමිණ ගින්න නිවා දමන්නට උත්සහ කර ඇත.
එහෙත් දුම් දමමින් තිබූ කුටිය විවෘත කර ගන්නට නොහැකි වී තිබේ. ගින්නට අසු වූ ලංකාලෝක මුද්‍රණ යන්ත්‍රය හා මුද්‍රණාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබේ. ගින්න නිවා දැමීමට අලුයම ගාල්ල සහ මාතර නගර සභා මගින් ගිනි නිවන රථ ද එවා ඇත. ගින්නෙන් විනාශයට පත් වූ මුද්‍රණ යන්ත්‍රය මගින් වර්ෂ 1860 දී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වූ ‘ලංකාලෝකය’ හා 1862 දී ප්‍රථම ලියාපදිංචි පුවත්පත වන ‘ලක්මිණි පහන’ ද මුද්‍රණය කළ බව ප්‍රකටය.
මෙය කඩාකප්පල් ක්‍රියාවක් බව සැලකේ. මෙම සතියේ බ්‍රහස්පතින්දා හබරාදූවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පළාතේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ ගිහි පැවිදි ප්‍රභූන්ගේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබී. ඇත. එහිදී මෙම ඉපැරණි මුද්‍රණ යන්ත්‍රය ජාතික කෞතුකාගාරය වෙත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබී ඇත. එවැනි තත්ත්වයක් යටතේ මෙම යන්ත්‍රය තබා තිබූ කොටස මුළුමණින්ම ගින්නෙන් විනාශ වීම පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කෙරේ. හබරාදූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments: