Tuesday, November 20, 2012

දෙපැත්තේ වචන හබය නිසා භාරත නඩුව යළිත් කල් යයි

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව අද (20) කොළඹ මහේස්ත්‍රාත් උසාවිය හමුවේ විභාගයට ගත් විට නීතිඥවරුන් සහ රහස් පොලිසිය අතර වචන හුවමාරුවක් සිදු වීම නිසා මෙම නඩුව දෙසැම්බර් 04 වැනි දිනට කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ද අල්විස් මහතා නියෝග කළේය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව පසුව අද (20) විභාගයට ගත් විටදෙවැනි සැකකරුගේ නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකර මහතාගෙන් විමසා සිටියේ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සිව් පුද්ගල ඝාතන සිද්ධිය භාරව කටයුතු කරන රජයේ නිලධාරියා කවුද යන්නයි. එහිදී රහස් පොලිසියේ ශානි අබේසේකර මහතා කියා සිටියේ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා භාරත නඩුවට පෙනී සිටින බව තමන් කීප වරක්ම උසාවියේ කියා සිටි බවයි. නැවත නැවතත් ඔහුගේ නම ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බවත්, මේ වනවිට අධිකරණයේ ඒ නම සටහන් වී ඇති බවත් ශානි අබේසේකර මහතා කියා සිටියේය. එවිට නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කියා සිටියේ එක පාරක් නොව දහපාරක් වුවත් අධිකරණයේ නම කිව යුතු බවයි. ඒ අතර භාරත පාර්ශවයේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ තම සේවාදායකයාට අසාධාරණයක් වී ඇති අතර තවත් පිරිසක් දිගටම රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි. දෙපාර්ශවයේ වචන හුවමාරු සිදුවන අවස්ථාවේ නඩුව කල් දැමීය.

No comments: