Monday, November 5, 2012

සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු මේ සතියේ සිට

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු මේ සතියේදී යළි ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසයි.
මේ සතියේ බොරතෙල් මෙට්ට්‍රික් ටොන් අසූ දහසක් හා ලබන සතියේදී මෙට්ට්‍රික් ටොන් 135000 මෙරටට ලැබීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ එල්. ඊ සුසන්ත සිල්වා මහතා පැවසීය.
මීට අමතරව දෙසැම්බර් මාසයේදී තවත් බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 135000 ක් ආනයනය කිරිමටද කටයුතු යොදා ඇති බව හෙතෙම කීවේය.
ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාකරවීමට බොරතෙල් ප්‍රමාණයන් අවශ්‍ය පරිදි ආනයනය කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ සියලුම මිළදී ගැනීම් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රජයේ අනුමත ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් කර ඇති බවත්, ටෙන්ඩර් වලින් ‍තාරව බොරතෙල් ආනයනය කිරිමට කටයුතු කර ඇති බවට ගෙන යන ප්‍රචාරණය සම්පූර්ණයෙන් සාවද්‍ය බවත් සුසන්ත සිල්වා මහතා පැවසීය.
ඉරානයට එරෙහිව බොරතෙල් තහංචි පැනවීමත් සමඟම සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොරතෙල් ආනයනයට බාධා පැමිණි බව පවසන කළමනාකාර අධ්‍යක්ෂවරයා එම අනපේක්ෂිත තත්ත්වය මත පිරිපහදු කටයුතු දින කිහිපයක් නවතා දැමීමට සිදු වු බව කීවේය.
හිතාමතා සැළසුම් කර තෙල් පිරිපහදුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිඳදැමීමේ ක්‍රියාවලියක් ඇතැයි ඇතමුන් ගෙන යන ප්‍රකාශයන් අසත්‍ය බවත්, සංස්ථාව අපහසුතාවට පත්වන ලෙස ඔවුන් ගෙන යන ප්‍රචාරය පටු වාසි තකා කරන්නක් බවත් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කාර්යයන් තාවකාලිකව නතර කළද, මෙරට ඉන්ධන හිඟයකින් තොරව සමස්ථ අවශ්‍යතාව සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්බව හෙතෙම පැවසීය.
මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරිම සඳහා 2007 වසරේදී ඉරානය සමග අවබෝධතා ගිවිසුමකට එළඹී අතර ඒත් ඇමරිකා විසින් ඉරානයට එරෙහිව පනවා ඇති වෙළෙද සම්බාධක සමඟ එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිමට දුෂ්කර වී තිබෙන බවත්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩල ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන එහි මුලික කටයුතු දැනට ක්‍රියාත්මක කරමින් සිටින බවත් කළමනාකාර අධ්‍යක්ෂ එල්. ඊ සුසන්ත සිල්වා මහතා පැවසීය.

No comments: