මාළිගාවිල උතුම් පුදබිම ...........
වන්දනීය
වූ පූජනීය වූ පුදබිමක් වෙත ගොස් එහි චෛත්‍යය, බෝධිය, බුදු පිළිම ආදිය වැඳ
නමස්කාර කොට ඒ සමඟම වන උයනක අසිරිය විඳගෙන එන්නට ඇත්නම් සිතට කිව නොහැකි
තරම් සැනසීමක් ළඟා වනවාට කිසිදු සැකයක් නැත. පුදබිම වෙත ගමන් කිරීමේ දී
ඉතාමත් විනීතවත් සංවරවත් ගමන් කළ යුතුය. වන පියසකදී නම් ඊට අමතරව දැඩි
නිහඬතාවය ද සුරැකිය යුතු වෙයි.
අප සූදානම් වන්නේ ඔබ සැම මාළිගාවිල
උතුම් පුදබිම වෙත කැඳවාගෙන යන්නටය. එහි ඓතිහාසික වුත් ආගමික වුත් වටිනාකම්
සහිත හිටි බුදු පිළිමය සහ මතුවට බුදු වන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ
බෝධිසත්ත්ව ප්‍රතිමාව වැඳ නමස්කාර කරගෙන කුසල් රැස්කර ගැනීම අපගේ අරමුණ
වෙයි.
කොළඹ සිට මොනරාගල මාර්ගයේ කිලෝමීටර් 233 සනිටුහන් කරන්නේ
බුත්තල නගරයයි. බුත්තල පුරාණයේ දී බත්හල නමින් හැඳින්වුණු බව අපි අසා
ඇත්තෙමු. දුටුගැමුණු රජතුමා එළාර සමඟ කළ සටනට සහභාගි වූ සේනාවන්ට බත් සැපයු
ශාලාව පිහිටි ප්‍රදේශය බත්හල විය. පසුකල බත්හල නාමය බුත්තල නමින් ප්‍රකට
විය.
බුත්තල දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිට ප්‍රකට වූ නගරයකි. එහි
සිට ඔක්කම්පිටිය මාර්ගය දිගේ මාළිගාවිල පුදබිමට දුර කිලෝමීටර් 15 ක් පමණ
වෙයි. මනාව කාපට් යොදා තැනු මාර්ගය ගමනාගමනය බෙහෙවින්ම පහසු කරවයි.
කෙළින්ම මාළිගාවිලට නොගොස් බුත්තල හා ඒ අවට ඓතිහාසික හා ආගමික වටිනාකම ද
විමසීම වටී. බුත්තලට ආසන්න වීමට මඳ දුරක් තිබියදී ඔබට යුදඟනාව රජමහා විහාරය
හමුවෙයි. දුටුගැමුණු කුමාරයා සහ සද්ධාතිස්ස කුමාරයා අතර රාජ්‍යය උරුම කර
ගැනීමේ අටියෙන් ප්‍රථම සටන පැවති තැන හැඳින්වෙන්නේ යුදඟනාව නමිනි. එහි
පවත්නා ඓතිහාසික සිහිවටන රැසක්ම ඔබට නැරැඹිය හැකිය.
යුදඟනාවේ
පැවති සටනින් දුටුගැමුණු කුමාරයා පරාජය කොට ජය අත්කර ගන්නට සද්ධාතිස්ස
කුමාරයා සමත් විය. පැරද පලා යන දුටුගැමුණු කුමාරයා පසුපස සද්ධාතිස්ස
කුමාරයා ලුහුබැඳ ගියේය.
විය හැකි විශාල විනාශය දුටු එවක විසූ
මාර්ගඵල ලාභී රහතන් වහන්සේලා පලා යන දුටුගැමුණු සහ ලුහුබැඳ යන සද්ධාතිස්ස
අතර ගල් පව්වක් මවා සද්ධාතිස්සගේ ලුහුබැඳ යාම නතර කරවූහ. එම කන්ද වර්තමානයේ
දී රහතුන් කන්ද නමින් ප්‍රකටව ඇති අතර එහි ද ආරණ්‍ය සේනාසනයක් පවතී.
බුත්තල - ඔක්කම්පිටිය මාර්ගයේ ගමන් ගන්නා විට දෙමටමල් විහාරය නමින් මනරම්
විහාරස්ථානයක් ද හමු වෙයි. දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරුවන් අතර පැවති
දෙවන සටනේ දී පරාජයව පලා ගිය සද්ධාතිස්ස කුමාරයා විහාරස්ථානයකට වැදී එහි
විහාරාධිපතීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේය. එසේ සැඟවුණේ මෙම දෙමටමල්
විහාරස්ථානයේය.
මෙවන් ඓතිහාසික වුත් ආගමික වුත් වන්දනීය පූජනීය
පුදබිම් නරඹමින් මාළිගාවිලට සපැමිණෙන ඔබ රථය රථගාලේ නතර කොට හිටි
බුදුපිළිමය සහ බෝසත් පිළිමය නැරැඹීම සඳහා පයින් ඇවිද යා යුතු මාර්ගයට
අවතීර්ණ විය යුතුය.
මෙම මාර්ගයට අවතීර්ණ විය යුතු මඟ දෙපස ඇති
කුඩා කඩ දෙස බලන්න. ප්‍රදේශයේම නිෂ්පාදනය වන දේ අලෙවි කොට බඩවියත රැක
ගැනීමට උත්සාහ කරන ඔවුන් කෙරෙහි ඔබත් කාරුණික වන්න. බෙලිමල් කෝප්පයක් හකුරු
කැටයකුත් සමඟ මිලදීගෙන පානය කරන්න.
වන්දනාකරුවන් සඳහා මල් අලෙවි
කරනවාට අමතරව බෙලි ගෙඩි, දොඩම් ආදිය ද, කොතල හිඹුටු වැනි ඖෂධ වර්ග ද,
වට්ටක්කා, ඉරිඟු වැනි දේ ද අලෙවි කරන මවුවරුන්ගේ කාරුණික හසරැල්ල ඔබ සිත්
දිනා ගනු ඇත.
ඔබට පයින් ඇවිද යාමට සිදුව ඇත්තේ මනරම් වන වදුළක්
හරහාය. අව් රස්නය සහිත කාෂ්ටක කාලගුණයෙන් හෙබි මෙම පෙදෙසේ මාළිගාවිල වන
පියස හරහා ගමන් ගන්නා ඔබට ගත - සිත පිනවන සිසිලසක් දැනෙනු ඇත. ගත දැවටෙන මඳ
සුළඟ ඔබගේ ගතේ වෙහෙස මඳකට නිවාලනු ඇත.
මඟ දෙපස පිහිටි වනරොද
කෙරෙහි ඇලුම් සහගත වන්න. වනරොදේ පිහිටි අසාමාන්‍ය පෙනුමකින් යුත් තුරුලතා
කෙරෙහි දෙනෙතට වඩා සිත ද යොමු කරන්න. එහි ඇති තුරුලතා ඉතා පැරණි ඒවා සේ ඔබට
පෙනෙනු ඇත. මෙම මනරම් පරිසරය දකින ඔබට මෙවන්ම වූ තුරුලතා සහිත වන උයනක්
මීට පෙර ද දැක ඇති බව සිහිපත් වනු ඇත. මඳක් කල්පනා කර බලන්න.
ඔබ
අනුරාධපුර පුදබිම වන්දනාමාන කර ගැනීමට ගොස් ඇත්නම් එහි වූ මහමෙව්නා උයනේ
තුරුලතා සමඟ මෙහි ඇති තුරුලතා සසඳා බලන්න. මහමෙව්නාවේ තුරුලතාත් මාළිගාවිල
පුදබිමේ තුරුලතාත් එක සමාන නොවේදැයි ඔබට මොහොතකට සිතෙනු ඇත.
හරිත
වන වදුලේ පිහිටි ගස් කඳන් පළ කරන්නේ පුදබිමට කොතරම් වයස ද ඊටත් වැඩි වයසක්
ගස්වැල්වලට ද ඇති බව නොවේ ද? වැඩෙන ගසක් වටමාව මටසිලුටුව පවතී. එහෙත් මෙහි
ගස් ඉතා දැඩි සේ මෝරා අරටුව සහිතව පවතින බව පළ කරයි.
ගස් හා එතුණු
වැල් සෑම තැනකම පාහේ තිබෙනු දැකිය හැකිය. මෙම වැල්වලින් සමහරක් කලවැල්ය.
තවත් සමහරක් බඹරවැල්ය. ඒ අතර පුස්වැල් ද වේ. ගස් මුදුන් කරා විහිදී ඇති මේ
වැල්වල කඳ ද ගස්වල කඳන්වලට දෙවැනි නොවේ. ඒ තරමට විශාලව වැවුණ වැල්ය. ඒවා
ඇඹරී, අවුල් - වියවුල්ව වැවී අපූරු චිත්‍රයක් නිර්මාණය කොට ඇත.
ඇතැම් වැලක් ගසක ඇඹරී එතෙමින් වැවී, වැලේ ග්‍රහණය දැඩිකොට, හිරකොට ගස මරා,
ගසෙහි පෝෂණය උරාගෙන වැවී ඇති ආකාරය දැක ගත හැකිය. මෙහි ඇති ගස්වල අලංකාරය
දෙගුණ තෙගුණව ඇත්තේ එහි එතී - වෙලී වැවුණු වැල් නිසාවෙනි.
වන අරණේ
සුවිශාල නුග ගස් සහ මාර ගස් අතු පතර දසත විහිදුවමින් වැවී මනා අලංකාරයක්
එක්කොට ඇත. නුග ඇටය වෙනත් ගසක මුදුනේ පැළවෙයි. එහි සිට පොළවට මුල් අදී. එය
ක්‍රමයෙන් ගසේ සාරය උරා බොමින් ගස මරා දමා ස්වකීය පැවැත්ම සාදා ගනී.
මෙවන් විසිතුරු දසුන් නරඹමින් වන උයන තුළ ගමන් ගන්නා ඔබට ඉදිරියෙන් හතරමං
හන්දියක් දිස්වෙයි. එහි දකුණු අත පැත්තට පාර දඹේගොඩ බෝධිසත්ත්ව පිළිමය
වෙතය. වම් අතට පිහිටි පාර හිටි බුදු පිළිමය වෙතය.
මෙම බෝධිසත්ත්ව
සහ බුද්ධ යන පිළිම තැනී ඇත්තේ ද හරිත වර්ණ තුරුවියන් අතරමය. එය ඔබට පිළිම
කෙරෙහි දැහැන්ගත වීමට උපකාරී වනු ඇත. ලොව මිල කළ නොහැකි පාෂාණයක් වූ කිරි
ගරුඬ ගලෙන් නිර්මිත පිළිම දෙක නිදන් හොරුන් විසින් කඩා බිම හෙළන ලදුව කැබලි
සිය ගණනකට කැඩීගොස් තිබු ආකාරය අතීතයේ දී අපි දුටුවෙමු. ඒවා නැවත යථා
තත්ත්වයට පත්කොට ඇත්තේ අනාගත පරපුරේ යහපැවැත්ම උදෙසාය.
දඹේගොඩ
බෝධිසත්ත්ව පිළිමය මහල් පහකින් යුත් භූමියේ පස්වැනි මහලේ ඉදිවී ඇත. වසර අසු
දහසක් ආයුෂ ඇතිව, අසු රියනක් උසැතිව මතුවට පහළ වන මෛත්‍රිය බුදුරජාණන්
වහන්සේගේ බෝධිසත්ත්ව රූපය වටා ද, හිටි බුදු පිළිමය වටා ද ඇති රූක්ෂ වෘක්ෂ
එම පිළිම දෙකට සෙවණ සදමින් ආරක්ෂක භටයන් සේ නැඟී සිටින ආකාරය ආශ්චර්යවත්ය.
ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේ දී ඉදිවී ඇති බෝසත් පිළිමය සහ හිටි බුදු
පිළිමය ආවරණය වන පරිදි අතීතයේ දී පිළිම ගෙවල් ද ගොඩනඟා තිබු අයුරු දැනට
ඉතිරිව පවත්නා නෂ්ටාවශේෂ අතරින් දැක ගත හැකිය.
No comments:
Post a Comment