Friday, November 9, 2012

සපුගස්කන්ද පිරිපහදුව යළි ක්‍රියාත්මකයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පරිදි බොරතෙල් ආනයනය කෙරේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කළමනාකරු නීල් ජයසේකර මහතා කියා සිටියේ  තෙල් පිරිපහදුව සදහා පසුගිය 04වනදා ආනයනය කළ බොරතෙල් මෙට්‍රික් ටොන් 75,000ට අමතරව තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 80,000ක් ඊයේ (08) ශ්‍රී ලංකාවට ආනයනය කළ බවයි.
මීට අමතරව ඉදිරියේදී තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 135,000ක් ආනයනය කිරීමට නියමිත අතර ඒ අනුව තෙල් පිරිපහදුවේ පිරිපහදු කාර්යයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළු පියවර මේ වනවිට ගෙන ඇත.
ඉරානයෙන් බොරතෙල් නැව් 10ක් ආනයනය කිරීමට පසුගිය ජුනි මාසයේදී ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවලට අවකාශ ලබාදුන්න ද ජුලි මාසයේදී බොරතෙල් අපනයනයට තහංචි දමමින් ඇමරිකාව ඉරානයට තවදුරටත් සම්බාධක පැනවීය. මේ හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වඩාත් යෝග්‍ය වන ඉරානියන් ලයිට් බොරතෙල් ආනයනයට බාධා පැමිණි අතර ඒ අනුව පිරිපහදු කාර්යයන් දින කීපයක් නතර කිරීමට සිදුවිය. කෙසේ වෙතත් බොරතෙල් ආනයනයට බාධා පැමිණි වහාම විකල්ප බොරතෙල් මූලාශ්‍ර වෙතින් බොරතෙල් මිළදී ගැනීමට පියවර ගැනීම හේතුවෙන් දැනට ආනයනය කර ඇති බොරතෙල් තොග ලබා ගැනීමට හැකිව තිබේ. ඒ අනුව දින කීපයක් නිවී ගිය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගිනි දැල්ල පෙරේදා (07) සිට නැවත දැල්වීමට හැකිවූ බව නීල් ජයසේකර මහතා පැවසීය.
දින කීපයක් පිරිපහදුව නතරකර තිබූ අවස්ථාවේදී පිරිපහදුවේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කීපයක් ද සිදුකර අවසන් කර ඇත.
නතර කර ඇති පිරිපහදුව නැවත ආරම්භ කරන විට දින කීපයක ක්‍රියාවලියක් තුළින් ඉන්ධන පිරිපහදු කිරීම අඩු ධාරිතාවේ සිට උපරිම ධාරිතාවක් දක්වා ඉහළ නැංවෙන අතර මේවනවිට පිරිපහදුව උපරිම ධාරිතාවට පැමිණ තිබේ.
ආරම්භක දිනවලදී දැවිතෙල් හා භූමිතෙල් නිෂ්පාදන ලබා ගත් අතර මේවනවිට පෙට්‍රල් හා ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග නියමිත පිරිවිතරයන්ගෙන් ලබා ගැනේ.

No comments: