Sunday, November 4, 2012

මේ කොයි යන්නේ...!

රටක පැවැත්මට අවශ්‍ය වන්නා වූ සියලුම අණ පනත් නීති සම්පාදනය කොට අනුමත කරනුයේ ව්‍යවස්ථාදායකයයි. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පැහැදිලි අංගයකි.

බලයේ සිටින රජයක් කුමන ආකාරයේ අණ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද ජන කැමැත්තට අනුව ආණ්ඩු පක්‍ෂයට, විපක්‍ෂයට වශයෙන් බෙදී දෙපසට වී සිටින පිරිස් වාද විවාද කොට සංශෝධන සහිතව හෝ සංශෝධන රහිතව ව්‍යවස්ථාදායකය තුළ එබඳු යෝජනා අණ පනත් සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාවට නැංවීම සිරිතය.

මෙවැනි අණ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතීත අවස්ථා සිහිපත් කරන විට අධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ප්‍රහාර එල්ල වූ අඳුරු අතීතයක්ද පවතී. එවැනි අවස්ථාවල රාජ්‍ය බලයේ සිටි මෙරට පළමුවන විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන සමය අමතක කළ නොහැක්කේමය.

එදා එබඳු අවස්ථාවක් නිර්මාණය වූ විට රාජ්‍ය නායකයා කී ප්‍රසිද්ධ කතාවක් අදටත් රාව නැඟෙමින් තිබේ. ඔහු කීවේ කොල්ලන්, කුරුට්ටන් අඹ ගසකට ගැසූ ගල් විනිසුරුවරයාගේ නිවෙසට වැදී ඇති බවකි.

එහෙත් එදා ප්‍රකාශ වූ එබඳු ප්‍රකාශයන් රටේ බුද්ධිමත් ජනතාව බැහැර කළේ දැඩි අවඥාවෙන් යුතුවය. එබඳු අතීත රාවයන් හමුවේ රට පුරා නැඟුණ ප්‍රතිරාවයන් ඉතාම ශෝචනීය තත්ත්වයට පත්වූ බවද අමතක කළ හැකි නොවේ.

ඒ ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් අතර ඇති වී උග්‍ර වූ ගැටුමට විධායකයද මැදිහත් වූ අඳුරු යුගයකි. අද මේ මොහොත වන විටද යළිත් වරක් රටේ ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් අතර ගැටුමක් නිර්මාණය වී එය රට තුළ දෝලනය වෙමින් පවතී.

මේ ගැටුම නිර්මාණය වූයේද අනපේක්‍ෂිතවය. රජය “දිවි නැඟුම” පනතක් සම්පාදනය කළේය. මෙම පනත කෙටුම්පත් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබියදී ඊට එරෙහි නඩුවක් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පැවැරිණි.

යෝජිත පනත පිළිබඳ නඩුවක් පැවැරී ඇති බව ශේ්‍රෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත දන්වා යැවූ බවට රාව නැඟුණි.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ චමල් රාජපක්‍ෂ කතානායකවරයා පාර්ලිමේන්තුවේදී විවෘත ප්‍රකාශයක් කරමින් රටටම කීවේ ශේ්‍රෂ්ඨාධිකරණය කළ යුතුව තිබුණේ සිය නිගමනය තමා වෙත එවීම වුවත්, එය පාර්ලිමේන්තුවේ නිලධාරියකු අතට පත් කිරීමෙන් රටේ ජනතා පරමාධිපත්ත්‍යයට හෑල්ලුවක් සිදුවී ඇති බවය.

රටේ ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අතර ගැටුමක් මෙවර නිර්මාණය වීමට බේදකාරක මතුවී ඇත්තේ එසේය.

මෙම ගැටුම ඔස්සේ රටේ ස්ථාපිත කොට ඇති පළාත් සභා තුළද මේ වන විට ගැටුමක් නිර්මාණය වී තිබෙන බවටද රාව නැඟෙමින් තිබේ.

දිවි නැඟුම පනත රටේ පළාත් සභා අතරද සම්මත විය යුතුය යන මතය පළවීමෙන් අර්බුදය තවත් වියවුලකට තල්ලු වී ගිය සෙයක් පෙනේ.

ඊට බලපෑවේ මේ වන විට රට තුළ එක් පළාත් සභාවක් ස්ථාපිත වී නොතිබීමය. පනතට පළාත් සභා අනුමැතිය ලැබිය යුතු බව ප්‍රකාශ වීමත් එක් පළාත් සභාවක් මේ වන විට ස්ථාපිත වී නොතිබීමත් තවත් මතභේදයකට ‍ෙදාරගුළු විවර වීමක් වූ බවද දක්නට ලැබිණි.

පළාත් සභා මෙරටට අවශ්‍ය නොමැති බරක් බවට මතයක්ද මේ අතර මතු වූ අතර, රජය තුළම සිටින තව පිරිසකගේ මතය වූයේ පළාත් සභා අහෝසි නොකළ යුතු බවයි.

රටේ උතුරු ප්‍රදේශයේ නිර්මාණය වූ අරගලයට පිළියමක් ලෙස පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළ යුතු බවට ඉන්දු - ලංකා ගිවිසුමටද, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද අනුව උතුරට පමණක් නොව මුළු රටම ආවරණය වන පරිදි ජේ.ආර්.ගේ විධායක පාලන සමයේදී රට තුළ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කෙරිණි.

මෙම ක්‍රමය රටම පිළිනොගත්තද එදා මෙදා තුළ වසර 30ක පමණ කාලයක් ක්‍රියාත්මත විය.

පළාත් සභාව පවතින රජයට අනුගතව සිය පාලන කටයුතු සිදුවිය යුතු බව බලයේ පවතින රජයන් කල්පනා කළද, දෝලනය කෙරෙන මැතිවරණ ප්‍රතිඵල මත පළාත් සභාවක බලය විපක්‍ෂයට තල්ලු වී ගිය විට රජයත්, පළාත් සභාවත් දෙපැත්තට ඇදීමෙන් සිදුවන අගතිගාමී තත්ත්වයන් මේ වන විට දේශපාලන කතිකාවත්වලට මූලික වී ඇති බව රාව නැඟෙමින් තිබේ.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වයන් හමුවේ ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් අතර නිර්මාණය වී ඇති ගැටුම්කාරී තත්ත්වය සමනය වන බවක් නම් පෙනෙන්නට නැත.

මේ මොහොත වන විට එය තව තවත් විවිධ දිසා ඔස්සේ ඉදිරියට යමින් තව තවත් අඳුරු පැතිකඩවල් දෙසට ගමන් කරන බව දක්නට ලැබේ.

මේ මොහොත වන විට බැලූ බැල්මට ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් නොහොඳ නෝක්කාඩු වී හමාරය.

ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ඉහළම පුටුව දෙසට මේ වන විට ව්‍යවස්ථාදායකය හරහා ආණ්ඩුවේ ඇඟිල්ල දිගුවී තිබේ. තමන්ට වූ හෑල්ලුවට සාධාරණීයකරණය සොයා ව්‍යවස්ථාදායකය යන ගමනේදී මේ වන විට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක්ද ඉදිරිපත් කොට ඇත.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 117 දෙනකුගේ අස්සනින් යුතු මෙකී දෝෂාභියෝගය පෙරේදා (1දා) පෙරවරුවේ කතානායකවරයා වෙත බාරදී තිබේ.

ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම, මහත්මීන් ඉහත දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට බාරදෙනු ලැබුවේ කතානායක නිල නිවසේදීමය. මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩිද සහභාගි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (2) ව්‍යවස්ථාව යටතේ “විෂම පැවැත්ම” යන කරුණු පදනම් කරගෙන අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කර ඇති බවට රාව නැඟේ.

අගවිනිසුරුවරියට එරෙහිව ප්‍රධාන කරුණු කාරණා නවයක් (9) ඇතුළත් වන පරිදි දෝෂාභියෝග යෝජනාව ගොනුවී තිබෙන බවටද රාව නැඟී තිබේ.

ඉහත කී දෝෂාභියෝග යෝජනාවෙන් අගවිනිසුරුවරිය ගැන ගොනු කොට ඇති විෂම චෝදනා පිළිබඳ සොයා බලා අදාළ වාර්තාවක් ලබාදීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසද ඉහත යෝජනාව මඟින් කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර දෝෂාභියෝගය ගැන සාකච්ඡා කිරීමට නීතිඥ සංගමයද හදිසි රැස්වීමක් කැඳවා තිබූ බවටද රාව නැඟුණේය.

ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව කතානායකවරයාට බාරදී තිබෙන දෝෂාභියෝග යෝජනාව චමල් රාජපක්‍ෂ කතානායකවරයා විසින් පිළිගනු ලැබුවහොත් ලබන 6 දින එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට බෙහෙවින් ඉඩ තිබෙන බවද පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර රාව මඟින් පැවැසේ.

මෙම කටයුතු ඉහත ආකාරයට සිදුවුවහොත් එළැඹෙන සතියේදී ඉහත දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවටද රාව පවතී.

මෙයට පෙරද අග්‍රවිනිශ්චයකාරවරු දෙදෙනකුට එරෙහිව දෝෂාභියෝග දෙකක් ඉදිරිපත් විය. එසේ වූයේ හිටපු අගවිනිසුරු දෙපළක වූ නෙවිල් සමරකෝන්, සරත් එන්. සිල්වා යන දෙපළටය. එම දෙපළට දෝෂාභියෝග ඉදිරිපත් වූයේ නම් ව්‍යවස්ථාදායකය සමඟ ඇති වූ ගැටීමක් මත නොව රටේ විධායකය සමඟම ඇතිවූ ගැටුම් දෙකක් පාදක කොටගෙනය.

මෙම දෝෂාභියෝග යෝජනා දෙක නම් ඉවතට විසි විය. ඊට බලපෑවේ එම අවස්ථා දෙකේදීම පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීම හේතුකොටගෙනය.

මෙවර දෝෂාභියෝගය ගොනුවී ඇත්තේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ දෙක අතර මතුවී ඇති ගැටුමක් මුල්කරගෙනය.  අපගේ ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් අතර මෙවැනි ගැටුමක් ඇති වී ඇත්තේ නම් පළමු වරටය. එසේම මෙරට අධිකරණ ඉතිහාසයේ දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ පළමු කාන්තාව වන්නේද ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරියයි.

උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ අපගේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ හෙට දවස කොයිබට දැයි අපි බලා සිටිමු.

No comments: