Thursday, November 15, 2012

කොටකෙතනට දැවැන්ත ආරක්ෂක දැළක්

කහවත්ත ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා විශේෂ කලාප දෙකකට බෙදා මෙහෙයුම් සිදු කිරීමට පොලිසිය හා හමුදාව එක්ව අද (15) විශේෂ වැඩ සටහනක් සකස් කළේය. මෙම කලාප දෙක විශේෂ කාර්‍ය බලකාය සහ යුද හමුදා විසින් පාලනය කරනු ලැබේ. කොටකෙතන, නැගෙනහිර නුගවෙල සහ දිඹුල්වල ග්‍රාම සේවක වසම් තුනේ පවුල් 1773ක් ජීවත් වෙති. මෙහි සාමාජික සංඛ්‍යාව 8120කි. ඔවුන් සියලු දෙනා මෙම ආරක්ෂක ජාලයට යටත් කොට ඇත. මෙම ආරක්ෂක මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සෙබලුන් 180ක් ද, හමුදා සෙබලුන් 150ක් ද, පොලිස් නිලධාරින් 170ක් ද වශයෙන් 500ට අධික නිලධාරින් පිරිසක් කොටකෙතන ප්‍රදේශයට මේ වනවිට යොදා ඇත. මීට අමතරව කොටකෙතනට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග තුන ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක 8ක් ද කහවත්ත පොලිසියේ අධීක්ෂණය යටතේ ස්ථාපිත කර තිබේ. කොටකෙතන විද්‍යාලය අසල පොලිස් මුර පොළක් මෙයට වසරකට පමණ පෙර ස්ථාපනය කරනු ලැබූ අතර එහි නිලධාරි සංඛ්‍යාව 20 සිට 70 දක්වා දැන් වැඩිකර තිබේ. මෙයට අමතරව නිලඳුර හා ඕපාත යන ප්‍රදේශවල විශේෂ කාර්‍ය බලකා කඳවුරක් සහ ආරක්ෂක හමුදා කඳවුරක් ස්ථාපිත කර ඇත. පොලිස් මාර්ග බාධක, විශේෂ සෝදිසි කිරීම් මෙන්ම කොටකෙතන ගමට පිවිසෙන හා ඉන් බැහැර වන සියලුම දෙනා පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා දිවා රාත්‍රි දෙකේම විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. කොටකෙතන,දිඹුල්වල,ඕපාත,නිලඳුර යන ගම්මානවල ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩ සටහනක් අද (15) දිනයේත් පැවැති අතර ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයින් හා කහවත්ත පොලිසිය එක්ව ඒවා සංවිධානය කර තිබිණ. රත්නපුරයේ නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වශයෙන් පත් වී ආ වාස් ගුණවර්ධන මහතා කොටකෙතන ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

No comments: