දකුණු පළාතේ පූර්ණ ආබාධිත රණවිරුවන් උදෙසා කඹුරුපිටිය, විල්පිටවත්ත ප්‍රදේශයේ මනරම් භූමි භාගයක ඉදි කෙරුණු අභිමංසල දෙවන සුව සහන මධ්‍යස්ථානය පෙරේදා (10 වනදා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් රණවිරු අයිතියට පැවරුණි.
නිදහසක් නැති රටක ජිවත් වෙනවාට වඩා රටට නිදහස ලබාදී මිය ගියත් සැපතක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. එය තමයි රණවිරුවන්ගේ සැපත, එය තමයි අපි සියලු දෙනාගේම සැපත යැයිද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
කිසි වැඩකට නැතිව දෑත දෙපය මනස තියාගෙන ඉන්නවාට වඩා, රට වෙනුවෙන් ඒවා කැප කර ජීවත් වෙන එක අපිට සැපතක් බවද ජනාධිපතිවරයා පැවසීය. සෑම පළාතකම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් අභිමංසල සුව සහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එදා වෙල්ලමුල්ලිවයික්කාල් වලදී සටන අවසාන වුණාම ජාතික කොඩිය දරාගෙන පාරට බැහැපු ජනතාව අද මේ රණවිරුවන් එක්ක තවම ඉන්නවා කියා බොහොම පැහැදිලිව ජනතාව අත ලෙළදෙන ඒ ජාතික කොඩිය දුටුවාම, ඒ ගැන අපිට ආඩම්බරයක් හිතෙන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
සේනාධිනායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රැකවරණ නිවාස සංකල්පය යටතේ දේශයේ සාමය උදෙසා තම දිවි කැප කර පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින අභීත රණවිරුවන්ගේ පුනරුත්ථාපනය, වෛද්‍ය ප්‍රතිකාර, විවේකය උදෙසා අභිමංසල වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
ස්වභාවික සම්පත්වලින් හා ජෛව විවිධත්වයෙන් යුත් අක්කර 10 ක භූමි භාගයක ඉදිකර ඇති කඹුරුපිටිය අභිමංසල සුවසහන මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 240 ක් වැය කර තිබේ. ආබාධිත රණවිරුවෙකුට සිය නිවසේදී හෝ ආසන්නයෙහි පහසුවෙන් ලබාගත නොහැකි විවිධ තාක්ෂණික උපාංගවලින් සමන්විත මෙම නවතම අභිමංසල දෙවන සුව සහන මධ්‍යස්ථානය විලා 07 කින් කුටි 05 කින්ද, ජල චිකිත්සක, භෞතික චිකිත්සක, ශාරීරික පුහුණු මධ්‍යස්ථාන, වෛද්‍ය රසායනාගාර, පිහිණුම් තටාක, ආයුර්වේද මධ්‍යස්ථාන, ශ්‍රවණාගාර සහ ක්‍රීඩාගාර ආදී සියලු පහසුකම්වලින් සමන්විත අතර පුරා පැය 24 පුරාම ක්‍රියාත්මක වෛද්‍ය සේවාවක්ද පවතී.
රෝද පුටුවලට සීමා වු දකුණු පළාතේ රණවිරුවන් 28 දෙනෙකු වෙනුවෙන් සහ නිරන්තර දිවා රෑ අවධානය ලබාදිය යුතු එම පළාතේම පූර්ණ අබාධිත රණවිරුවන් 20 දෙනෙකු සඳහා මෙහිදි ජීවිත කාලය පුරා රැකවරණය ලබාදීම සිදු කෙරේ.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාපති ලුතිතන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ඉදිකිරිම් සිදුකර ඇත.
අභිමංසල භූමියේ ඇවිද ගිය ජනාධිපතිතුමා එහි සියලු අංග නිරික්ෂණය කළේය. නේවාසික සෙබළුන්ගේ පරිහරණය සඳහා සංකේතවත් කරමින් පොත් ප්‍රදානයක්ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.එමෙන්ම දකුණු පළාතේ අභිමංසල සඳහා පළමු නේවාසික රණවිරුවා ලියාපදිංචි කිරිමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
මැති ඇමැතිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජය දහනායක, සනත් ජයසූරිය, දකුණු පළාත් ආණ්ඩුකාරිනී කුමාරි බාලසූරිය, ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්ම මහත්මීන් ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, රණවිරු පවුල්වල ඥාතීහු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.
No comments:
Post a Comment