Saturday, November 17, 2012

මන්ත්‍රිගේ මැර ප්‍රහාරයෙන් ජිප්සීස් සුනිල් නූලෙන් බේරෙයි


ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයාට අපහාස වන පරිදි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වී.කේ ඉන්දික මහතා ගැටුමක් ඇතිකරගෙන තිබේ.

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී “ලංකාවේ එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු මෙම ගැටුම ඇති වී තිබෙන අතර, එහිදී මන්ත්‍රිවරයා සුනිල් පෙරේරා මහතාට පහර දීමට උත්සාහ කරමින් පවසා ඇත්තේ තම නායකයාට අපහාස කිරීමට ඉඩදිය නොහැකි බවයි.
මෙහිදී සුනිල් පෙරේරා මහතා පවසා ඇත්තේ තමන් මේ ගීතය ඕනෑම ස්ථානයක, ඕනෑම අයකු ඉදිරිපිටදී ගායනා කිරීමට සූදානම් බවයි.

පසුගිය 10දා සිදුවූ මේ සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සුනිල් පෙරේරා මහතා පැවැසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පවා තමන් අකැමැති බවත්, උත්සවයේ සංවිධායක මණ්ඩලය මේ ගැන හොඳින් දන්නා බවත්ය. මේ පිළිබඳව ‘මව්බිම’ට අදහස් දක්වමින් වී.කේ. ඉන්දික මන්ත්‍රිවරයා පැවැසුවේ රාජපක්ෂවරුන් ඉදිරියේදී සුනිල් පෙරේරාට මේ ගීතය ගායනා කළ හැකි වුවත් තමන් ඉදිරියේදී එලෙස රාජපක්ෂ පරපුරට අපහාස කිරීමට ඉඩ දිය නොහැකි බවයි.

සුනිල් පෙරේරා මහතා මෙහිදී රාජපක්ෂවරුන්ගේ වැඩ වගේ යනුවෙන් පවසමින් අපහාස කළ බවත්, පසුව ඔහු තමන්ගෙන් සමාව ගත් නිසා ගැටුම අත්හැර දැමූ බවත් සඳහන් කළ මන්ත්‍රිවරයා තම පක්ෂයේ නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින බවද පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය හමුව සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියකු පැවැසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන වී.කේ. ඉන්දික මන්ත්‍රිවරයා අදාළ හමුව මුළුමනින්ම කඩාකප්පල් කළ බවයි.

මේ උත්සවයට සහභාගි වී සිටි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මීට සම්බන්ධ නොවූ බවත්, සුනිල් පෙරේරා මහතා තම ගීතය ගායනා කිරීමට පෙර නියෝජ්‍ය කතානායකවරයාගෙන් පමණක් අවසර ගැනීම මන්ත්‍රිවරයාගේ කෝපයට හේතු වූ බවයි. මේ සිද්ධිය නිසා උත්සවය අතරමඟ නවතා දැමීමට සිදුවූ බවද සංවිධායක මණ්ඩලයේ අදාළ ප්‍රධානියා සඳහන් කෙළේය.

No comments: