Tuesday, November 13, 2012

සභා ගැබේ ජංගම දුරකථන තහනම්

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ තුළට ජංගම දුරකථන රැගෙන ඒමෙන් වළකින ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට  දැනුම් දුන්නේය. සභාව තුළදී මන්ත්‍රීවරුන් ජංගම දුරකථන භාවිතා කිරීමට පුරුදු වී ඇති බවත්, එය අශෝභන දර්ශනයක් බවත් කථානායකවරයා කීවේය.
ජංගම දුරකතන වරින් වර සභාව තුළදී නාද වෙද්දී ශබ්ද විකාශන යන්ත්‍රවලට බාධාවක් වන්නේයැයිද කථානායකවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා පිළිතුරු දෙමින් සිටියදී කථානායකවරයා මේ බව කීවේය.
දයාසිරි ජයසේකර මහතා, කථානායකතුමා, සභාවේ සවිකර තිබෙන දුරකථන ඇමතුම් අක්‍රිය කරන ජෑමර් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න. එතකොට දුරකථන ඇමැතුම් ගන්න බැහැනේ.
කථානායක ඒවා ක්‍රියාත්මක කළහම වෙනත් බාධාවන් මතුවෙන බව ඉංජිනේරු මහත්මයා පවසනවා. හොඳම පිළියම සභාව තුළට ජංගම දුරකථන රැගෙන නොඑන එකයි. අවශ්‍ය නම් සභාවෙන් පිටතට ගිහින් කතා කරන්න.

No comments: