Saturday, June 29, 2013

Lorry, Podi Menike collision leaves two dead

පොඩි මැණිකෙට හැපුණු ලොරිය සුනේ සුන් ......
2ක් මරුට......
විදුලි සංඥා-හරස් ගේට්ටු නෑ
පාසල් ළමුන් කෑ ගැසුවත් ලොරිය දුම්රියේ හැපිලා



මීරිගම විජයරජදහන අම්බන වතුයාය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ලොරියක් බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ “පොඩි මැණිකෙ” ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් එහි රියැදුරා ඇතුළු දෙදෙනකු මියගිය බව මීරිගම පොලිසිය කියයි.

(28දා) පෙරවරු හතට පමණ මෙම අනතුර සිදුවිය. මෙම අනතුරින් මියගියේ මාවනැල්ල දාස්වත්තේ ඩබ්ලියු. නිමල් සෙනෙවිරත්න (54) නමැති එක්දරු පියකු හා මාවනැල්ල පදියදොර බී. පී. සරත් (49) නමැති තිදරු පියෙක් බවට හඳුනාගෙන ඇත.

මෙම මාර්ගයේ අනතුරු හඟවන පැරණි දැන්වීම් පුවරුවක් දක්නට ඇති නමුත් විදුලි සංඥා හෝ දුම්රිය හරස් ගේට්ටුවක් නැත.

මියගිය සරත් මාවනැල්ල නගරයේ කුලී රථ නැවතුම්පොළේ රැකියාවේ යෙදී සිටියකු වන අතර ඔහු ඊයේ අලුයම නිමල් නමැත්තා සමඟ මාවනැල්ලේ සිට දෙල් කැඩීම සඳහා මීරිගමට පැමිණ ඇත. ඔවුන් මෙම වෙළෙඳාම සඳහා පිටව ඇත්තේ පළමු වතාවටය. ඔවුන් මීරිගම ප්‍රදේශයේ දුරකතන සංඥා කුලුනක සේවය කරන දන්නා හඳුනන අයකු සොයමින් යන අතරතුර අම්බන වතුයායට පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඔවුන් සෙවූ පුද්ගලයා එහි නොවූයෙන් ආපසු යන අතරදී මෙම අනතුරට මුහුණපා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළිවී ඇත.

සිද්ධිය වන අවස්ථාවේ පාරේ ගමන් කරමින් සිටි පාසල් දරුවන් පිරිසක් දුම්රිය එන බවට කෑගසා කියද්දිත් ලොරිය දුම්රිය මාර්ගයට ඇතුළු කැර ඇති බවත් ඒ අවස්ථාවේ දී දුම්රියේ ගැටුණු ලොරිය පොඩි පට්ටම් වී පාරේ වම්පසට විසිවී ගිය බවත් පොලිස් පරීක්ෂණයේ දී හෙළිවී ඇත.

අනතුරත් සමඟ එහි ගමන් කළ දෙදෙනා විසිවී වැටී ඇති අතර, දුම්රිය නවතා තුවාලකරුවන් රෝහල් ගත කිරීම සඳහා මීරිගම දුම්රිය ස්ථානය කරා ගෙන යන විටත් ඔවුන් මියගොස් ඇති බව හෙළිවී ඇත. ලොරිය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබිණි.

මියගිය අයගේ මරණ පරීක්ෂණයන් (28දා) පස්වරුවේ වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිත විය.

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. ආනන්ද, පොලිස් කොස්තාපල් 51794 පුෂ්පකුමාර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.


No comments: