Saturday, June 29, 2013

Electricity tariff claims first victim.......


විදුලි බිල ගෙවන්න ගිය පාරිභෝගිකයා අලුත් ගාස්තුව දැකලා හෘදයාබාධයකින් මිය ගිහින් ......

වැඩි වූ විදුලි බිල ගෙවීමට ගොස් අලුත් ගාස්තු ගැන විමසා බලා ඉන් කම්පනයට පත් වූ විදුලි පාරිභෝගිකයකු හදිසියේ හෘදයාබාධයකට ගොදුරුවී ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය තුළදීම (28දා) මියගොස් තිබේ.

විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ 61 හැවිරිදි එස්.පී.පී.ජී. සමරදාස නමැති මේ පුද්ගලයා (28දා) උදෑසන 9ත් 10ත් අතර වේලාවේ සිය මාසික විදුලි බිල ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැමිණි බවත්, පසුගිය මාසයේ විදුලි බිලට වඩා මේ මාසයේ තමන්ට ගෙවීමට සිදුවී ඇති විදුලි බිල වැඩි බව පවසමින් මණ්ඩලයේ ගෙවීම් කවුන්ටරයේ නිලධාරියකු සමඟ කතාබස් කළ බවත්ය. විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමෙන් පසුව හෙතෙම එතැන ආසනයක වාඩි වී තිබෙන අතර ඉන් ඇද වැටුණු බවද අනාවරණය වේ.

මියගිය විදුලි පාරිභෝගික එස්.පී.පී.ජී. සමරදාස මහතා බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පදිංචිකරුවෙකි. විදුලිබල මණ්ඩල ශාඛාව තුළදී ඇද වැටීමෙන් පසුව කොළඹ මහ රෝහල වෙත ගෙන යන විටද ඔහු මියගොස් සිටි බව කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශය ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුලි සේවක සංගම් පවසන්නේ ඉදිරියේදී විදුලි බිල ගෙවීමට හදවත් රෝගීන් යැවීමෙන් වැළැකී සිටීමට විදුලි පාරිභෝගික ජනතාව සැලකිලිමත් විය යුතු බවය.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවැසුවේ ඉදිරියේදී විදුලි බිල් ගෙවීම් කරන ස්ථාන අසල ගිලන් රථයක් සූදානම් කර තබන ලෙසට සාමාන්‍යාධිකාරවරයාට පැවැසිය යුතු බවය. එපමණටම විදුලි බිල පාරිභෝගිකයාට දරාගත නොහැකි වී ඇති බවද ජයලාල් මහතා කීය.


No comments: