Sunday, June 9, 2013

Bad weather is not end...


අදත් වැසි හා සුළං - මුහුදු යාම අවදානම්

අදත් වැසි හා සුළං - මුහුදු යාම අවදානම්

අදත් (09) දිවයිනේ ධීවර කටයුතුවල නිරතවීම සුදුසු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම, කොළඹ ගාල්ල සහ පොතුවිල් මුහුදු ප්‍රදේශවල මෙන්ම යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුත්තලමේ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි ඇති විය හැකිය.

දිවයිනේ නිරිත දෙසින් ඇති වන තරමක තද සුළං ඇතැම් විට පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය තරමක් අඩු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු අතුරුදන්ව තිබේ.

තුවාල ලැබූවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ රාත්‍රී 7.30 පමණ වන විට පවුල් 318 කට අයත් පුද්ගලයන් 1180 දෙනෙකු පමණ විපතට පත්ව ඇත.

නිවාස 60ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර නිවාස දහසකට වැඩි සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව තිබේ.

මේ අතර ලක්ෂපාන, ඉහළ කොත්මලේ, කැනියොන්, මාවුස්සාකැලේ, ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුරට ලක් වූ බෝට්ටුවල සිටි ධීවරයින් සොයා අද දිනයේ ද නාවික හා ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

No comments: