Saturday, June 22, 2013

I don't need your help. but come and see me... - Moris Dahanayake

මට උදව් එපා බලන්න විතරක් එන්න
රෝහලේ ඇඳ මත සිට මොරිස් දහනායක කියයි


”මුතු මිටක් පිරී ඇත්තේ
මල් ගොඩක් පිපී ඇත්තේ
මිණිකැටත් සොයා ගත්තේ
අඩුවකුත් - මෙහේ නැත්තේ”


එදා ‘ආදරේ හිතෙනව දැක්කම’ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් මේ ගීතයට රැඟූ අයුරු ඔබට මතකද? ‘නයනා රසේ පෙම් රූප රාජිණී’ නම් මුල් ගීතයෙන් ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකුව ඔහු ගැයූ ‘මෙත් මල් පිබිදේවා’, ඇන්ජලින් ගුණතිලක සමඟ ‘ඔන්න ඕලු මලක් විල් දියමත පාවෙලා’ ඇතුළු ගීත රැසක් ගැයූ ඔහු චිත්‍රපට දහයක පමණ ‘දුෂ්ටයා’ ගේ චරිත රංගනයෙන් ප්‍රේක්ෂක සිත්සතන් ඇද බැඳ තබාගන්නට සමත් වූයේය. ඔහු මොරිස් දහනායක කලාකරුවාණන් ය.

”මං අසනීප වෙලා රෝහලේ ඉන්න බවක් කවුරුවත් දන්නවද මම දන්නෙ නැහැ. උදව් එපා. නිකමට හරි මාව බලා යන්න, වචනයක් දෙකක් කතාකරල යන්න එනවා නම් මට ඒක මහා සතුටක්”

මොරිස් දහනායකයන් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 6 වන වාට්ටුවේ පෙරදා මෙන් සවිබල නුවූ ගතින් යුතුව ඇඳ මත සිටී. අසූවන වියෙහි පසුවන ඔහු ඔහුගේ එදා දවස් ගැන අපහසුවෙන් මතකය අලුත් කරමින් කිව්වේ මෙහෙමයි.

”මට දුෂ්ට මුහුණක් ඇත්තෙත් නැහැ. ඒත් එදා අධ්‍යක්ෂවරු මාව ගත්තෙ දුෂ්ටයාගෙ චරිතයටමයි. නීල් රූපසිංහයන් ගෙ සැම චිත්‍රපටයකටම වගෙ මම සම්බන්ධ වුණා. හැබැයි, මගෙ රස්සාව පරිස්සම් කරගෙනයි ඒවා කළේ”

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ නිලධරයකු වූ හෙතෙම ගායනයේ, රංගනයේ යෙදුණ ද තිස් වසරක රස්සාවට වඩාත් ආදරය කළ බව ද කීවේ සිනාසෙමිනි. “ඔන්න මාමේ කෙල්ල පැනපි, ආදරේ හිතෙනව දැක්කම, පාරා වළලු, ප්‍රවේශම් වන්න, ලස්සන කෙල්ල ආදී චිත්‍රපට කිහිපයක ද දුෂ්ටයා වූයේය. ජෝ, ටෝනි රංගවේදීන්ගේ සමීපතමයා ලෙසින් ගෙවූ ඈත දවස් ගැන ද ඔහු කීවේ සොම්නසකිනි.

”හැබැයි ගාමිණී ෆොන්සේකා මහත්මයා එක්ක රඟපාන්න අමාරුයි. සටන් දර්ශනවලදි එයා මට ඇත්තටම ගහනවා”

තමන් රෝහලේ බව දැන දුක සැප විමසන්නට පැමිණි සනත් – මල්කාන්ති යුවළ ගැන මොරිස් කීවේ මහත් සතුටකිනි.

මොරිස්ට දැන් තම දුබල වත ඔහුටම පාලනය කරගත නොහැකිවාක් මෙනි. මතකය ද බිඳී ඇති සේය. එහෙත් සැහැල්ලුවෙන් සිනාසේ. තම වම් අතත්, වම් කකුලත් කිසියම් අප්‍රාණික බවකින් ඇතැයි වචන අමුණමින් කී හේ “ඔහොම තමයි ජීවිතේ” යැයි සෙමින් කීවේය.

”මාව බලන්න එදා මා එක්ක හිටපු හැමෝටම එන්ඩ කියන්න. උදව් මුකුත් එපා. ආවාම මට ලොකු සතුටක් දැනෙනවා”

සමුගත් මොහොතේදී මා අත අල්වා ඔහු කීයේ එයමය. මොරිස් ඔබට ඉක්මන් සුවය පතමු.


No comments: