Saturday, March 15, 2014

ලොව මවිත කළ ගුවන් ගමනට අදට සතියයි - තවමත් හරි තොරතුරක් නැත්තේ ඇයි?



මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී අදට (15) සතියක් සම්පූර්ණ වුවද මේ දක්වා ඒ ගැන නිශ්චිත හෙළිදරව්වක් සිදුකිරීමට පරීක්ෂණ පවත්වන කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.

ඉකුත් සතියේ (08) වැනිදා මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 නැමැති යානය අතුරුදන් වූ බව විදෙස් වාර්තා අනාවරණය කළේය. 

එදින සිට මේ දක්වා මලයාසියාව, චීනය, අමෙරිකාව, රුසියාව, වියට්නාමය මෙන්ම ඉන්දියාව ද එය සෙවීමේ කටයුතුවල නිරත වෙයි.

එකී ගුවන් යානය මුහුදුට කඩා වැටුණු බවත් සුන් බුන් හමුවු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළද එයද මේ දක්වා නිශ්චිතව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නැත‍.

ලොව ඉහළ යුද තාක්ෂණයක් සහිත අමෙරිකාව, රුසියාව ප්‍රමුඛ චීනයට ද මෙම ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි ස්ථීරවම පිළිතුරක් ලබාදීමට හැකියාවක් නොතිබියදී එකී ගුවන් යානය පැහැර ගැනීමට ලක්ව ඇති බව මලයාසියානු බලධාරීන් පවසන්නේ යැයි නවතම විදෙස් වාර්තා අනාවරණය කළේය.

එය ද සැක සහිත ප්‍රකාශයක්ම බව එම වාර්තාවල දැක්වෙයි.

සත්‍ය වශයෙන්ම එය ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි නම් දියුණු රටවල තාක්ෂණික මෙවලම්වලට සා‍පේක්ෂව ත්‍රස්තවාදීන්ගේ තාක්ෂණික දැනුම වඩාත් පුළුල් බවට ඕනෑම අයෙකුට සාධාරණ සැකයක් මතුවීම ද මෙම වාතාවරණය යටතේ වළක්වාලිය නොහැකිය.

කෙසේ හෝ අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සොයා සිදුකෙරෙන සොදිසි මෙහෙයුම් සඳහා ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් මේ වනවිට යොමුව තිබේ.

ඒ අනූව සෝදිසි මෙහයුම් මලයාසියානු අර්ධද්වීපයේ බටහිර ප්‍රදේශය වෙත වැඩි අවධානයක් යොමුකරමින් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ද අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සෙවීම සඳහා විශේෂ නෞකාවක් සහ ආවේක්ෂණ ගුවන් යානයක් බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට, අන්දමන් මුහුද සහ ඉන්දියන් සාගරය ආශ්‍රිත ප්‍රදේශයන්ට යවා ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

අදාළ යානය අතුරුදන් වු වේලාවෙන් පසු පැය 05 ක පමණ කාලයක් ගුවනේ තිබු බවට ද විවිධ වාර්තා පළ වී තිබේ.

කෙසේ වෙතත් මලයාසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානය ක්වාලාලාම්පුර් දෙසට හරවා ඇති බවට තවමත් සැක පළ කළ හැකි බවයි.

නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක ආසන්න ප්‍රදේශයේදී යානාව කඩා වැටී ඇති බවටද සැක පළව තිබේ.

No comments: