එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ හින්දු භක්‌තිකයන් අද සිය දකුණු ආසියානු සහෝදර බැතිමත්හු සමග සාර්ථක අස්‌වැන්නකට තුති පිඳීමේ වැදගත් උත්සවය වන තෛපොංගල් උළෙල සමරති.
තෛ මස පළමු දිනයෙන් හැඳින්වෙන මෙම උත්සවය සෞභාග්‍යමත් අස්‌වැන්නක් වෙනුවෙන් සූර්යා හෙවත් හිරු දෙවියන්ගෙන් ලත් සියලු ආශිර්වාදයන්ට තුති පුද කිරීම සඳහා සාම්ප්‍රදායානුකූලව වෙන් වූවකි. මෙම උත්සවයේ වැදගත්ම අංගය වන පොංගල් හෙවත් කිරි හා බත් එකට ඉතිරවීම තුළින් සූර්යාගේ ආශිර්වාදයෙන් ජිවිතයේ නව අවස්‌ථාවන් ආරම්භ කෙරෙන බව සාමාන්‍ය ඇදහීමයි. පළමු අස්‌වැන්න සූර්යට පුද කෙරෙන මෙය "සූර්ය මංගල්යම්" ලෙස ද සැලකේ.
මෙම උත්සවය තුළින් එළඹෙන වසරේ හොඳ අස්‌වැන්නක් හා යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්‌ඩ ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්‌වීම සඳහා දැඩි ලෙංගතුකම හා අවබෝධය පිළිබඳ හැඟීමෙන් පවුල් හා ජන කොටස් එකට එක් කෙරේ. මෙහි දෙවැනි දිනය සී සෑම, කිරි හා පොහොර සැපයීම සහ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ගවයන්ට ගරු බුහුමන් දැක්‌වීමේ වැදගත් සම්ප්‍රදාය සඳහා යොදා ගැනේ.
මනුෂ්‍යයා හා සොබා දහම අතර ඇති දැඩි සබැඳියාව මෙන්ම එදිනෙදා දිවියේදී හා දෙවියන් වන්දනාමාන කිරීමේදී මිනිසුන් හා ප්‍රජාව අතර ඇති එකමුතු බව නැවත ප්‍රාණවත් කිරීමක් තෛපොංගල් උත්සවය සනිටුහන් කරයි. එය දේව භක්‌තිය, ආශිර්වාද සඳහා කෘතගුණ දැක්‌වීම හා සුබවාදී අනාගත අභිලාශයන් පිළිබඳ සංකේතයකි.
සියලු ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් හා භාග්‍යවත් තෛපොංගල් දිනයක් පතමි.
සශ්‍රීකත්වය යදිමින් සූර්යයා නමදින දිනය අදයි
අගමැති
එම සුභාශිංසන පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
සශ්‍රීකත්වය යදිමින් සූර්ය දිව්‍ය රාජයා වන්දනා කෙරෙන සෞභාග්‍යමත් තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන එක් කරන්නේ හදපිරි සතුටිනි.
අස්‌වැන්න සරුවීමට උපකාර කළ සූර්යයා. වර්ෂාව සහ ගොවිතැන සඳහා උපයෝගී කර ගන්නා සතුන් ඇතුළු සමස්‌ත දායකාරකාදීන්ට කෘතවේදීත්වය පළකරමින් නව වසරක ආරම්භය සනිටුහන් කරන තෛපොංගල් මංගල්‍යය ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන්ට මෙන්ම ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට අද වැදගත් උත්සවයක් වශයෙන් සැලකිය හැකිය.
මකර සංක්‍රාන්තියෙන් දුරුතු මස පළමුවැනි දින සූර්ය උදාවත් සමග ජීවිතවලට යහපත එළැඹෙන බව හින්දූන්ගේ විශ්වාසයයි. සමස්‌ත හින්දු ප්‍රජාවට නව ජීවයක් උදාකරන තෛපොංගල් උත්සවය අසිරිමත් වූ මංගල්‍යයකි.
සැමට කෘතවේදීත්වය පළකර, සාමය හා සමගිය අපේක්‍ෂා කරන තෛපොංගල් උත්සවය වැදගත් මංගල්‍යයක් වන්නේ ශ්‍රී ලංකාවේ ස්‌ථිර සාර සාමය සහ සමගිය තහවුරු වී ඇති නිසාය. වසර ගණනාවක සිට මෙරට පැවැති රුදුරු යුද බිය සදහටම තුරන් කොට උතුරු නැගෙනහිර පමණක් නොව දිවයිනේ සමස්‌ත ප්‍රජාවට සමගියෙන් ජීවත් වීමට සුදුසු වාතාවරණයක් මේ වන විට උදාවී තිබේ.
උදාවන නව වසර ශ්‍රී ලාංකික දමිළ ජනතාවට මෙන්ම ලෝවාසී සමස්‌ත ප්‍රජාවට සෞභාග්‍යමත් වූ තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
සමානාත්මතාව හා කෘතවේදීත්වය
අගයන සමාජයක් ගොඩනගමු
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
අස්‌වනු මංගල්‍යය ලෝකයේ බොහෝ රටවල වැසියන් විසින් ඉටුකරනු ලබන සද්චාරිත්‍රයකි. දෙමළ ජනතාව තෛපොංගල් නමින් අද සමරනුයේ ඒ අස්‌වනු මංගල්‍යයයි.
මීට වසර දහසකට පමණ පෙරාතුව චෝල රජ සමයේදී වසරේ පළමු අස්‌වනු මංගල්‍යය සැමරීම උදෙසා මේ උත්සවය ඇරඹුණු බව පැවසෙයි. අස්‌වනු සරිකර ගැනීමට ඇප උපකාර කළ සියලු දෙනා වෙත එක හා සමාන මෙත් සිතින් තුති පිදීම මේ උත්සවයේ අරමුණයි. එහෙයින් අස්‌වැන්න සරිකර ගැනීමට සහාය වූ හිරුදෙවිඳුන්ට පමණක් නොව ගව මහිෂාදී සත්ව සමූහයා වෙතද මේ උත්සවයේදී කෘතවේදීත්වය පිරිනැමෙයි.
තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සමානාත්මතාවයේ ගරුත්වයයි. කෘතවේදීත්වයේ අගයයි. සමානාත්මතාවයට ගරු කරන, කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට අපි මේ තෛපොංගල් දිනයේ අදිටන් කර ගනිමු.
සෞභාග්‍යය හා සශ්‍රීකත්වය
උදාකර ගැනීමට අදිටන් කර ගනිමු
ඇමැති ටී. බී. ඒකනායක
එහි මෙසේද වෙයි.
ශිෂ්ට ලෝකයේ බොහෝ ජාතිහු තම ජාතියට ආවේණික වාර්ෂික උත්සව පවත්වති. එම උත්සව බොහෝ සෙයින්ම තම තමන් විශ්වාස කරන දෙවිවරුන් හා සම්බන්ධ වේ. පුරාණ කෘෂිකාර්මික සමාජවල අස්‌වනු නෙළා ගැනීමෙන් පසු තමන්ට ලැබුණු ආර්ථික ලාභයත් දැරූ වෙහෙසෙහි ප්‍රතිඵලත් ගැන සිතමින් සතුටු විනෝද වූයේ තමන් ඇදහූ පරිදි කෘෂිකර්මයට ආශිර්වාද කළ දෙවියන්ට පුද පූජා පවත්වමින් ස්‌තුති කරමින්ය. සතුන් දඩයමේ ගිය ජාතීන් ඒ අයුරින්ම සතුන් දඩයම් පිළිබඳ දෙවි දේවතාවුන්ට පුද පූජා උත්සව පැවැත්වූහ. මෙසේ ආරම්භ වූ උත්සව, ඒ ඒ ජාතීන්ගේ ජාතික උත්සව බවට අද පත් වී ඇත. ශ්‍රී ලංකාවේ මෙන්ම විශේෂයෙන් තමිල්නාඩුවේ වෙසෙන අපේ සහෝදර දමිළ ජනතාව එසේ ජනවාරි 13 සිට 16 දක්‌වා දින හතරක් තිස්‌සේ සමරන තෛපොංගල් උත්සවය ඔවුන්ගේ ජාතික උත්සවය බවට පත්ව ඇතත් එය අදින් වසර දහසකටත් පෙර අවධියක විශේෂයෙන් සොලී දේශයේ ගොවීන් විසින් සිය අස්‌වනු නෙළා ගැනීමෙන් පසු සූර්ය දෙවියන්ට ස්‌තුති කිරීම සඳහා ආරම්භ කර තිබූ පුතියීදුදුල් නම් වූ උත්සවයක් වී තිබිණි.
දමිළ දින දර්ශනය අනුව තෛ යනු දසවන මාසයයි. ජ්‍යෙdතිෂය හා සූර්ය සිද්ධාන්තය ගිනීම අනුව එම මස පළමුවන දිනය සූර්යයා උතුරු දෙසට ගමන් කරන හෙවත් උත්තරායනය ආරම්භ කිරීම සිදුවේ. සමහර දමිළ ජන කණ්‌ඩායම් අතර මෙය සූර්ය සිද්ධාන්තය අනුව යමින් මකර සංක්‍රාන්තිය යනුවෙන්ද හඳුන්වනු ලැබේ. වසරේ හා ජීවිතයේ නව බලාපොරොත්තු අවස්‌ථා වෙත යොමු කරවීම යනු අරුතින් මෙය තෛපිරන්ධල් වසි පිරක්‌කුම් යනුවෙන් ද හඳුන්වනු ලැබේ. පොන්ගල් යනු සාමාන්‍ය ව්‍යාපාරයේ උත්සවය යන අර්ථය දෙන නමුත් මෙහි මුල් අර්ථය වූයේ කිරි ඉතිරිවීම හෝ කිරිබත පිසීම යන්නයි. එහෙයින් තෛ මාසයේ පළමු දින සුබ මොහොතින් කෙරෙන කිරි ඉතිරිවීම තෛපොන්ගල් උත්සවය බවට පත්ව ඇත. සිංහල සංස්‌කෘතියත් දමිල සංස්‌කෘතියත් යන දෙකම කෘෂිකාර්මික සමාජයක් ඔස්‌සේ වැඩී යැම නිසා සිංහල අලුත් අවුරුද්දේ හා තෛපොංගල් උත්සවයේ බොහෝ සමාන අංග දක්‌නට ලැබේ.
සෞභාග්‍යවත් රටක් තුළින් එකම
ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගමු
ඇමැති වාසුදේව නානායක්‌කාර
නිදහස් රටක් වශයෙන් සියලු ජාතීන් එක්‌වී නිදහසේ තම ජාතියට උරුම වූ උත්සව පවත්වමින් සෞභාග්‍යයෙන් පිරි රටක් උදාකරලීම සඳහා මේ තෛපොංගල් උත්සවය නිමිති කරගත යුතු වෙමු.
තෛපොංගල් උත්සවයේදී හින්දු ජාතීහු හිරු දෙවියන් සඳහා අලුත් සහල් පූජා කරමින් ඉදිරි අනාගත කටයුතු සෞභාග්‍යයෙන් සපිරීමට ආශිර්වාද කරති. හිරු සියලු ජාතියට ආගමකට පොදුය. හිරු පිළිබඳ ආගමික මතයන් කවර අයුරින් පළ වුවද විද්‍යාත්මක සත්‍ය අනුව හිරු නොමැතිව ජීවයක්‌ද නොමැත. හිරු සියලු දෙනාට සමානව කටයුතු කරන්නා සේම, අප ද සියලු ජාතීන්ට එක හා සමානව කටයුතු කිරීම තුළින් අප අපේකක්‍ෂා කරන සාමය ළඟාකර ගැනීමට මේ උදාවූ තෛපොංගල් උත්සවයේදී අදිටන් කර ගත යුතුය.
සාමයෙන් ජීවත් වීමට අදිටන් කර ගනිමු
නි. ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන
එහි මෙසේද වේ.
"දුරුතු උදාවයි - සරු කාලයේ ආරම්භයයි" යන කියමනට අනුව ගොවියෝ තම ගොවිතැන් කටයුතුවල වර්ධනයටත්, සරු අස්‌වැන්න නෙළීමටත් උපකාරී වන සූර්යයාටත්, ගව සත්වයාටත්, කෙත්බිමටත් නමස්‌කාර කර බැතිබර ප්‍රණාමය පළකිරීමේ උතුම් තෛපොංගල් දිනයේදී ශ්‍රී ලංකාව තුළ වෙසෙන සමස්‌ත හින්දු බැතිමතුන් වෙත බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිතුමා වශයෙන් සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරි ශුභ තෛපොංගල් දිනයකට ආසිරි ගෙන ඒමෙන් ඉතා සතුටට පත්වන්නෙමි.
සෑම දෙනාම සාධාරණයට, යුක්‌තියට යටත් වී යහපත් දේම කිරීමට පෙළඹෙනවානම් එහි අවසානය ද යහපතම වේ. මෙම උතුම් තෛපොංගල් දිනයේ අධ්‍යාත්මික වත්පිළිවෙත් හඳුනාගෙන ඒවා පිළිපැදීමෙන් හා යහපත් දේ කිරීමෙන් ජීවත්වීමට අධිෂ්ඨාන කරගනිමු.
සැමට සෞභාග්‍යමත් අසිරිමත් නව යුගයක් උදාවේවා!
කෘතවේදීත්වය සහ ගරුත්වය
දැක්‌වීමේ හෙට දවසක් උදා කළ යුතුයි
සරත් ෆොන්සේකා
හින්දු දින දර්ශනයට අනුව අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ අද දින සිටය. අලුත් අවුරුද්දක ආරම්භයක් යනු අනාගතය පිsබඳ නැවුම් බලාපොරොත්තු සමග ඉදිරියට තබන පියවරකි. විස¹ ගැනීමට නොහැකිව තිබූ අර්බුද විස¹ගෙන අභියෝග ජය ගැනීමට හිතේ අධිෂ්ඨානයක් ඇති වන දිනයකි.
වසර 30 ක් පුරා පැවැති යුද්දයෙන් දෙමළ හින්දු ජාතිකයන් බොහෝ පීඩාවට පත්ව සිටිය බව නොරහසකි. මා හමුදාපති ධුරය බාර ගත් දා සිට තිර උධෂ්ඨානයකින් කටයුතු කළේ මේ රටේ සමස්‌ත පුරවැසියන්ට නිදහස උදා කර දීමටය. එමෙන්ම හින්දු භක්‌තික දෙමළ ජනතාවට යහපත් මානසිකත්වයකින් යුතු යහපත් පසු බිමක් උදාකර දීමටය. නමුත් යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද මා බලාපොරොත්තුවෙන් සිටි සහන ලබා දීමට රජය අපොහොසත් වී ඇත.
රටක යුද්ධයක් අවසන් වීමෙන් රටකට සහ ජනතාවට ලැබිය යුතු සහන නිදහස ලෑබී නොමැත.
තෛපොංගල් දිනය සමරණ හින්දු බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරන අතර හෙට දවසේ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට සහ ජය ගැනීමට අධෂ්ඨානශීලීව පෙරට එන ලෙස ඉල්ලා සිටිමි.
No comments:
Post a Comment