මේ සඳහා මැදගම, සිරිමංගලපුර, නිලපොල සෝමාවතියගම, සුමේධංකරපුර ආදි ප්‍රදේශ වලින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
මෙම උද්ඝෝෂණයට ආසන්නම සිදුවීම පසුගිය දිනක සෝමාවතිය ගමෙහි ගොවියකු වල් අලි ප්‍රහාරයකට ලක්‌ව මියයැමයි. එමෙන්ම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වන කුඹුරු හා හේන් ගොවිතැන් විනාශ කරමින් වල් අලි ගම්වැදි ගෙවල් දොරවල් බිඳ දමන බවත් පවසමින් පිරිස උද්ඝෝෂණයේ නිරතව සිටියහ.
මේ තත්ත්වය පිළිබඳව කන්තලේ වන ජීවී කාර්යාලයට කිහිපවිටක්‌ම දැනුවත් කළත් විසඳුම් නොලැබුණු නිසා ඉහළ බලධාරීන් දැනුවත් වී නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බල කිරීමට මෙම උද්ඝෝෂණය දියත් කළ බව සේරුවිල ගොවි සංවිධානයේ සභාපති කේ. ඩී. කුමාරසේන මහතා "දිවයින"ට කීය.
ගං වතුරින් කුඹුරු භාගයක් විනාශ වුණා. ඉතිරි ටික වල් අලි විනාශ කරනවා. අපි රෑ එළිවෙන කල් ගොවි බිම් රකිනවා. විනාඩියක් ඇහැපිය වුණොත් ඔක්‌කොම ඉවරයි යෑයි සිරිමංගලපුරේ ගමේ බී. ඩිංගිරි අප්පු ගොවි මහතා (58) කීය.
ත්‍රස්‌තවාදී කලබල පැවැති සමයට වඩා මේ වන විට ප්‍රදේශයේ වල් අලි ගහණය වැඩිවී ඇති බවත් විධිමත් හා ක්‍රමවත් අලි වැටක් අවශ්‍යව ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
සේරුනුවර මංසන්ධියේදී පැවැති මෙම විරෝධතාව නිසා පැය දෙකක පමණ කාලයක් රථ වාහන ගමනාගමනයට බාධා සිදුවූ අතර සේරුවිල පොලිස් ස්‌ථානාධිපති වරයා හා සේරුවිල ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ පියදාස මහතාට එම ස්‌ථානයට පැමිණ තත්ත්වය පිළිබඳ වන ජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ප්‍රදේශවාසීන්ට සහනයක් ලබාදෙන ලෙසට වූ පොරොන්දුව මත උද්ඝෝෂකයෝ ඉවත් වූහ.
No comments:
Post a Comment