Saturday, November 2, 2013

Chairman of the Tangalle Pradeshiya Sabha charged with the killing a British tourist .


 තංගල්ල සභාපති ඇතුළු 6 දෙනා මහාධිකරණයට

Chairman of the Tangalle Pradeshiya Sabha Sampath Widanapathirana charged with the killing a British tourist Khuram Sheikh leaves the Colombo Magistrate Court yesterday. 

තංගල්ල "ද නේචර්" නිවාඩු නිකේතනයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ට පහර දී ඝාතනය කිරීම හා ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්‌කිරීම සම්බන්ධයෙන් නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර ඇති තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හයදෙනාට ලබන 22 දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා (01 දා) නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් අධිකරණය ඇමතූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම අපරාධයට අදාළව සිදුකළ සියලු විමර්ශන අවසන් කර නීතිපති උපදෙස්‌ ලබාගැනීමට කටයුතු කළ බවත් පැවසීය. එමෙන්ම මෙහි සැකකරුවන් වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ඕබඩ ආරච්චිගේ ලහිරු කැලුම් හෙවත් රවී, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සනත් හා සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අය විත්තිකරුවන් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇති බවත් පොන්ඩිලගේ නුවන් චින්තක හෙවත් පැටී හා එදිරිසූරිය පටබැඳිගේ නදීර ෂාමේල් නමැති සැකකරුවන් මුදාහැර ඇති බවත් කියා සිටියේය.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව ලබන 22 දා කැඳවීමට නියමිතව ඇති බව ද ඒ සඳහා මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ මෙම පැමිණිලි ගොනුවක්‌ සියලු නඩු භාණ්‌ඩත් කොළඹ මහාධිකරණය වෙත යොමුකරන ලෙසට ඉල්ලා සිටින බව ද පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකොට ඇති සැකකරුවන්ට නඩුව කැඳවනු ලබන 22 දා කොළඹ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා චෝදනා ගොනු කොට ඇති සැකකරුවන් හයදෙනාට ලබන 22 දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මුදාහැර ඇති සැකකරුවන් දෙදෙනාට අදාළව නීතිපතිවරයාගේ දැනුම්දීම ලැබී නොමැති නිසා ඔවුන්ට ලබන 22 දා යළි කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.


No comments: