Sunday, November 11, 2012
මළමිනී මැදින් ඝාතකයින් සොයා පෝද්දලට ගිය ගමන
අපි දකුණෙ ගම ගාල්ලෙ යනුවෙන් ආඩම්බරයෙන් පැවැසීමට එදා බොහෝ හේතු තිබිණි. අදටද වලංගු හේතු නැතුවා නොවේ. නමුත් සියල්ල පරදවමින් ගාල්ල මරු සිටින දිශාව ලෙස සමස්ත ලංකාවේම අවධානය දිනා ඇත. සවස හයෙන් පසු ගාල්ලේ කනම්පිටිය, ඇත්තිලිගොඩ, බන්දුගොඩ, මිලිද්දුව ප්‍රදේශවල ඇත්තේ 1988, 89 රටේ පැවැති භීෂණ තත්ත්වයේ ස්වරූපයකි. පාරෙ ඉඳහිට හෝ යන්නේ පොලිස් රථයක් පමණි. භයෙන් භිරාන්තව සිටින ගාලු වැසියන් සොයා අපි ගමන ආරම්භ කළෙමු.
“කිසිම පත්තරේකින් අපිට සාධාරණයක් වෙලා තිබුණෙ නෑ. ඔයාලගෙ පත්තරේත් මුල්පිටුවෙ දාල තිබුණෙ දකුණේ පාතාලය මිනී මරා ගනී කියලනෙ. ලංකාවම දන්න පාතාලෙ කෙනාට ව්‍යාපාරිකයා කියල දාල. මොනවද මහත්තය ඔයාලගෙ මීඩියා බලන්නකො මේ දරුව දිහා. ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි කඩු කිනිසි තියා පිහියක්වත් හරියට අල්ල ගන්න බෑ. මැරිච්ච දරුවට දැන්වත් සැනසීමෙන් ඉන්න දීලා කරුණාකරලා ආපහු ආපු අතක් බලාගෙන යන්න.”
“අපි කියන ඒව අහගෙන ඉඳල ඔයාලට ඕන දෙයක් ලියල දානව. පත්තරකාරයන්ගේ හැටි අපි දන්නෙ නැද්ද? අහිංසක මිනිස්සුන්ට පාතාලකාරයෝ කියල ලේබල් ගහන්න එපා. ඇස් දෙකෙන්ම දැක්ක නේද අර නේවි එකේ ජානකට පෙරඩ් තියල ගෞරව කරපු හැටි. පාතාලෙනං එහෙම කරයිද නේවි එකෙන්.”
මෙවැනි ප්‍රශ්න වැලක් එකිනෙකාගෙන් අප වෙත එල්ලවන්නට විය. ඔවුන්ගේ මුහුණ තම ප්‍රිය මිත්‍රයන් වෙන්වීමේ දුකෙන්ද මාධ්‍ය මඟින් සිදුවා යැයි කියන අසාධාරණයේ කෝපයෙන්ද පිරී තිබිණි. භූමිදාන කටයුතු අවසානයේ අපද ඔවුන් සමඟම අදාළ නිවෙස් බලා ගමන් කළෙමු.
කනම්පිටිය ගැන්සිය හා දංගෙදර සෙට් එක අතර විරසකය ඇති වූයේ 90 දශකයේ මැද භාගයේදීය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම ජීවිත ගණනාවක් වරින්වර බිලි විය. විටක ඇසිඩ් ප්‍රහාරයන්ද, තවත් විටක අත් හෝ පාද අහිමි කිරීම්ද නුදුරු ඉතිහාසයේ දක්නට ලැබිණි. මීට අවුරුදු කීපයකට පෙර ඝාතනයට ලක්වූ දංගෙදර දුෂාන්ත සෙනෙවිරත්න නාගරික මන්ත්‍රිවරයාද මේ කතාවේම කොටසක් බව පැවසේ. මිය යන විට ගාල්ල මහ නගර සභාවේ විපක්‍ෂ නායකයාව සිටි ඔහු පසුගියදා ඝාතනයට ලක්වූ කුමාර සෙනෙවිරත්නගේ සොහොයුරාය. මේ සියලු ඝාතනවල ආරම්භය සාමයේ සංකේතයක වන පරවියාගෙන් ආරම්භ වීම සැලකිය යුතු කරුණකි. ඉන් පසුව එය මළ ගෙදරකදී වූ කතාබහකින් දෙපිරිසටම ශරීර ගත විය. තවත් කරුණක් වනුයේ බොහෝ ඝාතනයන් අදටත් අභිරහසක්ව තිබීමය. ඒ අතර දුෂ්‍යන්ත සෙනවිරත්න ඝාතනය සම්බන්ධයෙන් විවිධ කට කතා ඇත. “ආණ්ඩුවේ පාතාල මර්දන ඒකකයක් මගින් සිදුකරන ලදී. එවකට දකුණු පළාතේ අමාත්‍යවරයෙක් විසින් සිදු කරන ලදී. කනංකෙ ගැන්සිය විසින් සිදුකරන ලදී” වශයෙනි.
කතාව අලුත් වන්නේ පසුගිය විසිපස් වැනිදා දහවල් ඩික්සන් හන්දියෙන්ය. දංගෙදර කුමාර තම යතුරුපැදියෙන් ටැල්බට් ටවුමේ මල්ශාලාවේ සිට තම නිවෙසට එමින් තිබිණි. ඔහු ඒ සඳහා භාවිත කරන්නේ සරෙන්තු කඩේ හන්දිය හරහා ඇති ඩික්සන් පාරට එකතු වන මාර්ගයයි. මේ බව ඝාතකයෝ කල් තියාම දැන සිටියහ. එනමුදු කුමාර මේ කිසිවක් නොදැන මේ භවයේ අන්තිම හුස්ම පොද රැගෙන ඩික්සන් හන්දියෙන් හරවන විට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය හා ගැටුනි. එකවරම ඉන් බැසගත් සිවුදෙනකු බිම වැටී සිටි කුමාරට කඩු පොලු වලින් පහර දෙන්නට විය. අත් පා කපා වෙන් කළ ද කුමාර හිතේ හයියෙන් නැඟිටින්න උත්සාහ ගන්නා විට එක් ඝාතකයෙක් පැමිණ කුමාරගේ බෙල්ලේ තිබුණු රන් දම්වැල කඩාගත් බව නිර්මාණය වෙමින් පවතින කතාවේ ඇත.
මීටර් 200කට නොඅඩු දුරකින් පිහිටි රාජ්‍ය ආයතන ගණනාවක් ළඟ කුමාර සියල්ලම හැර ගියේය. අධික රුධිර වහනයද මරණයට හේතු වී ඇත. මුළු ගාල්ලම අකුණක් ගැසුවාක් මෙන් දෙදරුම් කෑවේය. හැම දෙනාම නුදුරු දිනක තවත් අපරාධයක් වෙතැයි සිතුවේ ඉතිහාසයේ ලෙයට ලෙය පළිගැනීම මේ කණ්ඩායම අතර සරල සුපුරුදු දෙයක් නිසාය. කුමාර ඝාතනය සඳහා යොදා ගත් ත්‍රිරෝද රථය ද ගාල්ල නගරයෙන් බලෙන් පැහැරගත් බවට තොරතුරු ලැබෙමින් පවතියි.
දංගෙදර ලේ රත් වී තිබිණි. කුමාරට දංගෙදර තිබුණ ප්‍රසිද්ධිය, බලය, හැකියාව හා අතීතය සුළුපටු නොවේ. ඔවුන් කළ කී දෑද එලෙසමය. වැඩිමහල් සොයුරු නන්දනද බාල සොයුරු දුෂ්‍යන්තද දංගෙදරට අහිමි වී තිබීම තුළ බලය පිළිබඳ සිද්ධාන්තවල ප්‍රශ්නයක් පැන නැඟී තිබිණි. ඔවුහු මෙය කනම්පිටිය ගැන්සියෙ ටයිටස්ගෙ වැඩක් යයි සිතූහ. පසුව ඔවුන්ගේ අභ්‍යන්තර බුද්ධි ඒකක ලබාදුන් තොරතුරු අනුව එය ටයිටස්ගේ නොව ඔහු වටා සිටින සහචරයන්ගේ වුවමනාවක් පිරිමසා ගැනීමක් බවට අනුමාන කළහ. තම කණ්ඩායමේ ප්‍රබලතම සාමාජිකයා අහිමිවීමේ අඩුවට සරිලන පරිදි කනම්පිටිය ගැන්සියෙන් බිලි කිහිපයක් ගැනීමට ඔවුන් කල්පනා කළා විය හැකිය. 2009 දී මියගිය සමීත් නදීෂාන් 2011 දී මියගිය ගයාන් මධුෂාන්ගේද වාඩුව ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමට සැලැසුම් සකස් කළ යුතු යැයි ඝාතකයන් සිතුවා විය හැක. එමගින් 2008 දී කනම්පිටිය ගැන්සියේ රන් මහත්තයව පරලොව යැවූ ආකාරයටම තම හයිය පෙන්වීමට සැලැසුම් සකස් වෙමින් තිබිණි.
ගාල්ලේ සියලු දෙනාගේ හිත්වල පුංචි බයක් තිබුණේ කොයි මොහොතේ දංගෙදර සෙට් එකෙන් ප්‍රතිචාර ලැබේදෝයි වූ අනපේක්‍ෂිත හැඟීමෙනි.
බොර දියෙහි මාළු බෑමට පාතාල සාමාජිකයන් උපන් හපන්කම් ඇති අයය. ඇතැම් විට දංගෙදර කුමාර ඝාතනයද වෙනත් පිරිසක් විසින් සිදුකර කනම්පිටිය ගිණුමට බැර කළේ දැයිද ඇතැම්හු සැක මතු කරන්නේ ඒ නිසාවෙනි. සැලකිය යුතු තවත් කරුණක් වනුයේ දෙපිරිසටම තවත් පාර්ශ්ව ගණනාවක හතුරන් සිටීමයි.
පසුගිය දෙවැනිදා ජානක පුෂ්පකුමාර ටික කලකට පසු රාජකාරි නිවාඩු පැමිණියේය. ලැබෙන කෙටි නිවාඩුවෙන් තම මිතුරන් සමඟ විනෝදවීම ඔහු එදා සිට සිදුකළ දෙයකි. නාවික සෙබළකු වූ ජානක පුෂ්පකුමාර තම මිලිටරි අත්දැකීම මිතුරන්ට කියාදෙන්නේද මහත් අභිමානයෙනි. 18 වියැති මලිත් මදුසංක දෙවැනිදා ගමේ පන්සලට අටවිසි බුද්ධ පූජාවක් තම අනුග්‍රහයෙන් පවත්වා ගෙදර පැමිණ “ලොකු අක්කෙ අද තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණ දවස” යැයි කීවේය. අම්මා කඩේට ගිය පසු නිවෙසේ ඉදිරි හා පසුපස ෙදාරවල් වසා ගීත ගයමින් බෙර වාදනය පටන් ගත් මලිත් තම සොහොයුරියන් දෙදෙනාට ඊට නර්තනයෙන් දායක වන ලෙසද ඉල්ලා සිටියේය. කඩයට ගොස් යළි නිවෙසට පැමිණි අම්මා මලිත්ට සුබ ආරංචියක් ගෙනාවාය.
“අන්න පුතේ පුෂ්පකුමාර අයිය නිවාඩු ඇවිල්ල. මිටින් හළ කුරුල්ලෙකු මෙන් මලිත්, ජානක පුෂ්පකුමාරගේ නිවෙසට දිව ගියේය. ආගිය තොරතුරු තුටු සිතින් හුවමාරු කර ගත් ඔවුන් හෙට දින ජයසේකර මොහොට්ටි ජනක (චූටි) ගේ දියණියගේ උපන් දින සාදයට සහභාගි වීම ගැනද කතා කර ගත්හ.
ඉකුත් තුන්වැනිදා උදා වූයේ තවත් එක් දවසක් ලෙසින්ය. මේ වන විට ඔවුන්ට තවත් යහළුවෙකු හමුවී තිබිණි. ඔහු පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට සම්බන්ධ බවත් බොහෝ අවස්ථාවල සිවිල් ඇඳුමින් සැරිසරන බවත් ප්‍රකාශ කර තිබිණි. අලුත් පොලිස් මිතුරා තම වාහනයෙන් චූටිත් සමඟ පැමිණ මලිත් හා පුෂ්පකුමාරව ද රැගෙන අමිල සොයා ගියහ. ඔහුටද සවස පැවැත්වෙන උපන්දින සාදයට ඇරයුම් කළේය. නැවත තම නිවෙස අසලින් සියල්ලන් මුදා හළ පොලිස් මිතුරා හවස හමුවෙන අටියෙන් නික්මුණේය.
අමිල ත්‍රිරෝද රථයෙන් චූටිගේ නිවෙසට පැමිණියේය. පුෂ්පකුමාර මලිත් සමඟ සාදයට යෑමට සූදානම් විය.
“තාත්තෙ මාලෙ ගලවල දෙන්න කෝ” කියමින් මලිත් තම පියාගේ ගෙලෙහි වූ රන්මාලයද ඉල්ලා ගත්තේය. “පාර්ටියට හිස් අතින් යන්න බෑනෙ” කියා මලිත්ගේ මව ඔහුට චූටිගේ දුවට කේක් එකක් රැගෙන යන ලෙස දන්වා මුදල් ලබා දුන්නාය. මිතුරන් හතර දෙනා සාදයට ගොස් හිරුණිට සුබ උපන් දිනයක් පතා මධුවිත තොල ගෑම ආරම්භ කළහ. මේ වන විට චූටිගෙ බිරියට දෙවන දරුවාද ගැබ්ගෙන තිබිණි.
රාත්‍රිය තරුණ වන විට හතර දෙනා පදමට සප්පායම් වී සිටියෝය. පොලිස් මිතුරා දුරකතන ඇමැතුමක් ලබාදී “සොරි මචං මට පාර්ටියට එන්න බෑ. පොඩි එකාට තෑග්ගක්වත් නැතුව බෝතලයක් නම් තියනව. උඹල වරෙන් නේවි එක ළඟට. අපි කොහාට හරි ගිහින් ඒක ගහල සිංදුවක් කියල ෆන් එකක් දාමු” කීවේය. චූටිගෙ බිරිය මේ රාත්‍රි ගමනට මනාප නොවූවාය.
“දැන් යන්න එපා. බීලා ගියාම පොලිසියෙන් අල්ලයි.”
ඔවුන් හතර දෙනාටම සිනහ ගියේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පොලිස් මිතුරා හමුවීමට යෑමේදී තවත් මොන පොලිසිද යන්න මෙනෙහි වීමෙනි. ඒ ඔවුන් එකට සිනාසුණු අවසාන අවස්ථාව විය. හතර දෙනාම ත්‍රිරෝද රථයෙන් මා ගාල්ලේ පිහිටි නේවි එක අසලට ගියෝය. පොලිස් මිතුරා පැමිණ සිටියේ තම වාහනයෙනි. ඔහුගේ වාහනයේ ගමන් බිමන් යෑම හැම අතින්ම ඇඟට ගුණ නිසා මොවුන් ත්‍රිරෝද රථය පාර අයිනේ නවත්වා ඒ වාහනයට ගොඩ විය.
නේවි එක ඉදිරිපිට කිසිදු අවස්ථාවක කලබලයක් සිදුවිය නොහැක. ඒ නිසා මේ හතර දෙනා සිය කැමැත්තෙන් පොලිස් මිතුරාගේ රථයට එකතු වූවා විය යුතුය. ඉන් අනතුරුව සිදුවූ දෙය දන්නේ ඝාතකයන් පමණි. ඒ කෙසේ වුවද රාත්‍රි තුනට පමණ පෝද්දල මහසෝන් වංගුව දෙසින් වෙඩි හඬ කීපයක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති.
රාත්‍රි එකොළහ පමණ වනතුරුත් මලිත් ගෙදර නොපැමිණි නිසා පියා මවට කීවේ දුරකතන ඇමැතුමක් ලබාදී ගෙදර එන ලෙස අණ කිරීමටය.
“පුතේ දැන් රෑ වෙලා. ගෙදර එන්න තාත්ත මටත් බනිනව“ යැයි මව කියන විට ඇයට මලිත්ගේ දුරකතනයෙන් ඇසුණ ෂෝ හඬක් පමණි. සිග්නල් නැතුව ඇති. එහෙම නැත්තං ගේ ළඟම ඇති මෙලහකටත් යැයි සිතූ මව ඒ බව පියාටද දන්වා නින්දට ගියාය.
පසුදින උදෑසනම මලිත්ගේ කාමරයට එබී බැලූ මවට පුතා නැති බව දක්නට ලැබිණි. පහළ ගෙදර පුෂ්පකුමාරද පැමිණ නැත. පාරේ ගමන් කරමින් සිටි රාජ අයිය “ඊයෙත් පෝද්දල හතර දෙනෙක් මරල. තිරිසන් යක්කු මොනව බෙදාගන්න බැරුවද දන්නේ නෑ”යි කියාගෙන ගියේය.
මලිත්ගේ මව නිකමට මෙන් ගාල්ල පොලිසියේ අපරාධ අංශය බාර ස්ථානාධිපති රොහාන් වික්‍රමසේකර මහතා අමතා ඒ පිළිබඳව විමසුවාය.
“ඔව්. එහෙම මර්ඩර් එකක් නම් වෙලා තියෙනව. ඒත් ඇයි මේ හදිස්සියෙ.”
“අනේ අපේ මලිත් ගෙදර ආවේ නෑ. ඒකයි බැලුවේ.” මව කියද්දී ස්ථානාධිපතිවරයා ඇයට කියා ඇත්තේ “කලබල වෙන්න එපා. මලිත්ව කවුද මරන්නෙ. පාටිය තිබ්බ ගෙදරම නිදි ඇති” යනුවෙනි.
ඒ අදහසෙන් පුංචි අස්වැසිල්ලක් ලද මව නැවතත් මීපාවල තම ඥාති සොහොයුරියට කතා කර පෝද්දල ඝාතනය පිළිබඳ විමසුවාය.
ඒ වන විටද ඔවුන් පෝද්දල මහසෝන් වංගුව අසලට ගොස් තිබිණි. චූටිගේ පිටේ තිබුණ “චූටි” පච්චයෙන් ඔහුවද මලිත් ඇඳ සිටි කොටු කොටු ෂර්ට් එකෙන් ඔහුවද හඳුනා ගත්හ. කනම්පිටිය කැලැඹිණි. දෙබරයකට ගල් ගැසුවාක් මෙන් කැලඹිණි. බද්දේගම අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධිකා එදිරිසිංහ මහත්මිය එතැනට පැමිණ සිද්ධිය පිළිබඳව අදාළ රාජකාරි කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ගාල්ල කරාපිටිය රෝහලට මෘත දේහ රැගෙන ගියේය.
ඉන් දිනකට පසුව අක්මීමන පොලිසිය මගින් සැකපිට හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන පෝද්දල පොලිසියට බාර දුන්හ. සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් මෙයට සම්බන්ධ නැතැයි තහවුරු කර නිදහස් කරන ලදී.
“මේ වැඩේට ඇවිල්ල තියෙන්නෙ හොඳට ට්‍රේනිං වුණ කට්ටියක්. අත් ගැටගහල තියෙන විදියෙත්, කකුල් ගැටගහල තියෙන විදියෙත් ටෙක්නික් එකක් තියනව. දත් ගලවල දෙන්න තියන ඔක්කොම වද දීල මරල තියෙන්නෙ.” කනම්පිටිය දෙසින් එවැනි කතාද ඇසෙයි.
කුමාරගේ අත්පා වෙන් වී එහෙත් පණ ඇති සිරුර නැඟීමට උත්සාහ ගන්නා ආකාරය එම වීඩියෝවේ සටහන් වේ. අප මේ උත්සාහ ගන්නේ ඒ වීඩියෝව ඔබට පෙන්වීමට නොව, ඊට යටින් ඇති එය නැරඹූවන්ගේ අදහස් කීපයකට ඔබේ අවධානය යොමු කිරීමටය.
“කවුද මේ වීඩියෝ එක කරපු එකා මේ මනුස්සයව වීඩියෝ කර කර ඉන්නෙ නැතුව ත්‍රීවීල් එකක හරි ඉස්පිරිතාලෙට අරගෙන ගියානං බේර ගන්න තිබුණ නේද?”
“නොදන්න දේවල් කතා කරන්න එපා. ඉස්පිරිතාලෙට අරගෙන ගියා නං හෙට උදේ වෙද්දී ඒ අරගෙන ගිය එකත් ඉවරයි.”
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment