Tuesday, February 11, 2014

වෑවලදෙණියේ රාජා දිවි ගමන නිමා කරයි

වෑවලදෙණියේ රාජා දිවි ගමන නිමා කරයි

මහනුවර ඇසළ මහා පෙරහැරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගත් දළදා කරඩුව වැඩමවීමේ භාග්‍ය ලද වෑවලදෙණියේ රාජා හස්ති රාජයා සඳුදා (10) රාත්‍රී 9.45ට පමණ මිය ගියේය.

මරණයට පත්වන විට වෑවදෙණියේ රාජා හස්ති රාජයා 55 වන වියේ පසු විනැයි එම හස්තියා අයත් කෑගල්ල වෑවලදෙණීය මහින්දෝදය විහාරස්ථානයේ අධිපති හතරකෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ නා හිමි සදහන් කරති.

එම විහාරස්ථ දායක සභාවේ සභාපති සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා සදහන් කළේ දකුණූ පළාතේ අගුණුකොළපැලැස්සේ දී අල්ලා ගනු ලැබූ මෙම ඇත්පැටවා 1976 වසරේ එවකට සංචාරක කටයුතු අමාත්‍ය පී.බී.ජී .කළුගල්ල මහතා විසින් වෑවලදෙණීය විහාරස්ථානයට පූජා කළ බවය.

වසර 77 පමණ දිගු ඉතිහාසයක් ඇති කෑගල්ල පොසොන් පෙරහැරේ පුරා විසි වසකට ආසන්න කාළයක් සදාතුක කරඩුව වැඩම කිරීමේ භාග්‍ය ලද වෑවලදෙණීය රාජා ඊට අමතරව මහනුවර ශ්‍රී දළදා පෙරහැර ,ගංගාරාමය, බෙල්ලන්විල ,කැලණිය ,රත්නපුර මහ සමන් දේවාලය ,කතරගම වැනි ඇසළ පෙරහැර වල ද දෙහිඹ්විට රඹුක්කන ,මාවනැල්ල හෙම්මාතගම වැනි වාර්ෂික ඇසළ පෙරහැර වලද සධාතුක කරඩුව වැඩම කරලීමේ භාග්‍ය ලත් දුරලභ ගනයේ හස්ති රාජයෙකැයිද සබරගමු මහ ඇමතිවරයා සදහන් කරයි.

පුරා පහළොස්වරක් පමණ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වැඩ සිටින කරඩුව වැඩමකරලීමේ දුලභ අවස්ථාව එම ඇත් රජුට හිමිවිනැයි කී මහ ඇමතිවරයා ඊට අමතරව දළදා වහන්සේ වැඩමවන ඇතු ,දෑලවර ගමන්ගන්නා ඇතෙකු ලෙසද දිගුකළක් දළදා පෙරහැරට දායක වීමට රාජාට අවස්ථාව උදාවිනැයිද කීය.

කෙටි කළක් රෝගාතුරව සිටි වෑවලදෙණීය රාජා ශ්‍රී දළදා මාළිගාවට අයත් පල්ලෙකැළේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත්විනැයි කී මහ ඇමතිවරයා එම හස්ති රාජයාගේ අවසන් කටයුතු අඟහරුවාදා (11) ප.ව.2.00ට පල්ලෙකැළේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී සිදු කිරීමට නියමිත බවද කීය.

මෙම හස්තිරාජයා මරණයට පත්වීම හුදෙක් වෑවලදෙණිය විහාරස්ථානයට පමණක් සිදු වූ පාඩුවක් නෙවන බව කී මහ ඇමතිවරයා කැගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව මහනුවර ඇතුළු කන්ද උඩරට මෙන්ම දිවයින පුරා බෞද්ධ විහාරස්ථානවලට බරපතල පාඩුවකැයි සදහන් කරයි.සධාතුක කරඩුව වැඩමවීමේ සියලු ගුණාංගයන්ගෙන් සහ අංග ලක්ෂණ වලින් ද සපිරි මෙම ඇත් රජුගේ මරණයෙන් අපේ පෙරහැර ඇතුළු ආගමික වතාවත් වලට පිරිමසා ලිය නොහැකි පාඩුවක් සිදු වී ඇති අතර එම හිඩස පිරලීම බලවත් ගැටළුවකැයි ද සබරගමු මහ ඇමතිවරයා පැවසීය.