Sunday, January 6, 2013

සැඩ සුළඟ කොත්මලේ හොල්ලයි

කොත්මලේ ගම්මාන කීපයක් හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා ඊයේ (05) දවස පුරා ජනතාවගේ දෛනික කටයුතු මුළුමනින්ම අඩාල විය. ඊයේ (05) උදේ ‍හතට පමණ මෙම සුළං තාවය ආරම්භ විය. එය රම්බඩ, තවලන්තැන්න,මල්හෑව, ගැරඬිඇල්ල, කරගස්තලාව,කටුකිතුළ,නව මොරප් ඩෙල්ටාව,කොත්මලේ නව නගරය වැනි ගම්මාන වලට විශාල වශයෙන් හානි සිදු කර ඇත. කොත්මලේ පොලිසියට වාර්තා වී ඇති තොරතුරු වලට අනුව මෙම ගම්මානවල නිවාස විසිඅටක පමණ වහල ගැලවී ගොස් ඇත. සමහර නිවාසවල වහල මුළුමනින්ම ගැලවී ගොස් ඇත. මග දෙපස ගස් කඩා වැටී විදුලි රැහැන් මෙන්ම දුරකථන රැහැන්ද විශාල වශයෙන් විනාශ වී තිබුණි. මග දෙපස තිබූ ගස් කඩා වැටීම නිසා කොත්මලේ නව නගරයේ ත්‍රී රෝද රථයක් මුළු මනින්ම විනාශ වී ඇති අතර එම රථයේ සිටි තරුණයෙක් මේ වන විට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. තවලන්තැන්න වැලිකැටිය ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය කරමින් තිබූ ත්‍රී රෝද රථයක් මතට ගසක අක්කක් කඩා වැටී ත්‍රීරෝද රිය විනාශ වී ඇති අතර රථයේ රියදුරුට කිසිදු හානියක් සිදුවී‍ නොමැත. ප්‍රදේශයේ විශාල ගස් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇත. ආර්ථික වශයෙන් විශාල බලාපොරොත්තු තියාගෙන අස්වැන්න නෙලීමට සිතා සිටි කරාබු,අලිපේර, කෙසෙල් වැනි බෝග විශාල වශයෙන් විනාශ වී ඇත. මේ සිදුවීම් ජලය සමගින් කොත්මලේ ප්‍රාදේශිය මහ ලේකම් මේනක පෙරේරා මහතා ඇතුලු නිලධාරින් ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති උ.පො.ප ඒකනායක මහතා ඇතුලු සියළුම නිලධාරින් විදුලි බල මංඩලයේ නවලන්තැන්න විදුලි අධිකාරි සමන් දිසානායක ඇතුලු සියලුම සේවකයින් ජනතාවට අවශ්‍ය පහසුකම් සපයමින් රාත්‍රිය උදාවෙද්දී විදුලි බලයද යථා තත්වයට පත් කිරීම නිසා‍ මෙම ආයතන වලට ජනතාවගේ ප්‍රසාදය හිමී වී තිබේ.

No comments: