Monday, January 7, 2013

ත්‍රිරෝද රියක්‌ උඩ කරවිටදී ප්‍රපාතයට පෙරළී 2 ක්‌ මරුට


නිවිතිගල උඩ කරවිට තේ කම්හලක රාත්‍රි සේවා මුරය අවසන් කොට කම්කරුවන් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක්‌ ඊයේ (6 දා) අලුයම ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු එම ස්‌ථානයේදී මියගොස්‌ තිබේ. මෙම ත්‍රිරෝද රථයේ රියෑදුරු ඇතුළු හත් දෙනකු ගමන් කොට ඇති අතර තුවාල ලැබූ අනිකුත් අය රත්නපුර මහ රෝහලට ඇතුළත් කොට ඇත.

මියගොස්‌ ඇත්තේ නිවිතිගල පිටකන්ද පදිංචිව සිටි එක්‌ දරු මවක වූ ඒ. පුෂ්පලතා (32) සහ එම ප්‍රදේශයේම පදිංචි ඩබ්ලිව්. ඒ යසවතී (50) නමැති දෙදරු මවකි.

ත්‍රිරෝද රථ රියෑදුරුගේ 10 හැවිරිදි දරුවාද මෙම අනතුරෙන් තුවාල ලබා තිබේ. රියෑදුරු අසුනේ ඔහුද වාඩි කරවා ගෙන රථය ධාවනය කොට ඇති බවද මෙම ත්‍රිරෝද රථය ඉදිරිපස විදුලි පහන් නොමැති බවද එදින ටෝච් එළියෙන් ධාවනය වූ බැව්ද ඇසින් දුටුවෝ කියති.

රාත්‍රි වැඩ මුරය අවසන් වීමෙන් පසු මේ කම්කරුවන් පිරිස කොන්ත්‍රාත් පදනම මත ප්‍රවාහනය භාරගෙන ඇති අයෙකු ත්‍රිරෝද රථයකින් දිනපතා ප්‍රවාහනය කෙරේ. මෙම අනතුර සිදුවූ ස්‌ථානයද අනාරක්‍ෂිත බෝක්‌කුවකි. ආරක්‍ෂක වැටක්‌ නැත. කේ. ගුණරත්න (රියෑදුරු) කේ. නදීර, එස්‌ පාතිමා, ඒ. ජී. සෝමලතා සහ තවත් අයෙකු රෝහල් ගත කොට තිබේ.

නිවිතිගල පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති ගොඩගේ මහතා සමග පො. සැ. ප්‍රියන්ත, පො. කො. සුමනරත්න, පො. කො. අජිත් යන මහත්වරු පරීක්‍ෂණ මෙහෙයවති.

No comments: